2026-11-15 20:46 Hours
1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ කාර්ය මණ්ඩලයට 2018 වසරේ සිට මේ දක්වා කිසිදු වැටුප් වර්ධකයක් ලබාදී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) දී අනාවරණ වී තිබෙනවා.
මෙම වැටුප් ගැටලුව හේතුවෙන් සේවයට බඳවා ගන්නා නව සේවකයින් දිගුකාලීනව රැඳී නොසිටින අතර, විදෙස් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් ද හඳුනාගෙන ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ.
කෝප් කමිටුව හමුවේ කරුණු දක්වමින් 1990 සුවසැරිය පදනමේ පත්කළ අධ්යක්ෂ නීතිඥ නලින් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ සේවකයින්ට මේ වනවිටත් හිමිවන්නේ 2018 වසරේදී නියම කළ ආරම්භක වැටුප බවයි.
රජයේ සේවකයින්ට වැටුප් වර්ධක ලබාදීමෙන් අනතුරුව ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍යාංශය හරහා අයවැය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත්, එතෙක් වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, සුවසැරිය පදනමේ සභාපති නිරෝෂන් රත්නායක මහතා සඳහන් කර ඇත්තේ නව සේවකයින් බඳවාගෙන පුහුණුව ලබා සේවයට යෙදවුවද, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සේවය අතහැර යන බවයි.
ආර්ථික තත්ත්වය හමුවේ සුවසැරිය සේවයෙන් ලබාගන්නා පළපුරුද්ද උපයෝගී කරගනිමින් ඉහළ වැටුප් සහිත විදෙස් රැකියා සඳහා ඔවුන් යොමුවන බවද ඔහු සඳහන් කර ඇති බව සඳහන්.
එමෙන්ම සුවසැරිය සේවකයින්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේදී අවධානය යොමුව තිබෙනවා.
සේවාවේ ගිලන්රථ බහුතරයක් පොලිස් ස්ථානවල ස්ථානගත කර ඇති අතර, තවත් ගිලන්රථ කිහිපයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විහාරස්ථාන පරිශ්‍රවල ස්ථානගත කර ඇති බවයි එහිදී සඳහන් වී ඇත්තේ.
පොලිස් ස්ථානවල පවතින පහසුකම් සේවකයින්ට ලබාදී තිබුණද, ඒවායේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් පොලිසිය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාගැනීමට අපේක්ෂා කරන බවද සභාපතිවරයා පෙන්වා දී ඇති බව වාර්තා වනවා.
මේ අතර, ඉදිරියේදී නව සේවකයින් බඳවා ගැනීමේදී මෙම ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බව සඳහන් කළ නීතිඥ නලින් පෙරේරා මහතා, ඒ සඳහා රජයේ සෘජු මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව වාර්ෂිකව යම් මුදලක් රජයේ අයවැයෙන් වෙන් කරමින් ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සුවසැරිය සේවකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කර ඇත.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk