2026-11-05 19:00:00 Hours

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි


...

ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අතුල කලුආරච්චි මහතා තීරණය කර තිබෙනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙය හදිසියේ ගත් තීරණයක් නොවන බවත්, වසර කිහිපයකට පෙර පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවක් මත මෙම තීරණය ගත් බවත් අතුල කලුආරච්චි මහතා අවධාරණය කර තිබෙනවා.

එම ධුරවලින් ඉවත්වීම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතාව වෙනුවෙන් සිදුකරන කැපවීම අවසන් කිරීමක් නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

"ආදරණීය සහෝදරවරුනි, මිතුරනි,

මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ මා නියෝජනය කරන කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට මා තීරණය කර ඇති බව ඔබ වෙත දැනුම් දෙන්නේ ඉතා වගකීමෙන් සහ පැහැදිලි අවබෝධයකිනි.

මෙය කිසිසේත්ම හදිසියේ ගත් තීරණයක් නොවේ. වසර කිහිපයකට පෙර අප පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවක් සහ මා එදා භාරගත් දේශපාලන වගකීම පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් තීරණයකි.

දුර්දාන්ත පවුල් පාලනයන් පරාජය කරමින්, ජනතාවාදී පාලන ක්‍රමයක් සහිත රටක් ගොඩනැඟීම සඳහා මගේ ශක්තිය, කාලය සහ හැකියාව උපරිමයෙන් කැප කිරීමට මා එදා එකඟ වී මෙම දේශපාලන ගමනට එක්වුණෙමි.

2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික අරමුණ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, රටේ වේගවත් සංවර්ධනයකට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම සාර්ථකව ගොඩනැඟීමට අපට හැකි වී තිබේ. එමෙන්ම, අප පසුකර ඉදිරියට ගමන් කළ හැකි දක්ෂ තරුණ නායකත්වයක් සහ කණ්ඩායමක් නිර්මාණය කිරීමට ද අප සමත්ව සිටිමු.

ඒ සියල්ල සමඟින් රට තුළ ස්ථාවර සංවර්ධනයක සහ ජාතික පුනරුදයක නව යුගයක් ආරම්භ වී ඇති බව මාගේ විශ්වාසයයි.

අප එදා එක්ව දැරූ දේශපාලන අරමුණ වෙනුවෙන් අද වන විට තවත් පිරිසකට වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පසුබිමක් නිර්මාණය වී තිබේ. එබැවින්, වසර කිහිපයකට පෙර අප පක්ෂය සමඟ ඇති කරගත් එකඟතාවට අනුවත්, මේ අවස්ථාවේදී මාගේ වෘත්තීය කටයුතු සහ වෘත්තීය ජීවිතය යළි නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් සහ කොට්ඨාස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තෙමි.

මෙය අපගේ දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතාව වෙනුවෙන් වූ කැපවීම අවසන් කිරීමක් ලෙස කිසිවකුත් වටහා නොගනු ඇතැයි මම විශ්වාස කරමි. තනතුරු වෙනස් වුවද අප එකට ආරම්භ කළ ගමන සහ අප වෙනුවෙන් පෙනී සිටි ජනතාව කෙරෙහි ඇති වගකීම කිසිසේත් වෙනස් නොවේ.

මෙතෙක් මා සමඟ උරෙනුර ගැටී කටයුතු කළ ඔබ සියලු දෙනාටත්, විවිධ අභියෝග හමුවේ මා කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනාටත් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

අප එකට ගොඩනැඟූ දේශපාලන පදනම තවදුරටත් ශක්තිමත් කරමින්, අපටත් වඩා ඉදිරියට යා හැකි නව පරපුරකට අවස්ථාව ලබාදෙමින්, රට වෙනුවෙන් අපේ වගකීම ඉදිරියටත් ඉටු කරමු.

තනතුරු තාවකාලිකය. අප වෙනුවෙන් පෙනී සිටි අරමුණු සහ ජනතාව වෙනුවෙන් වූ කැපවීම සදාකාලිකය.

ඔබ සැමට මාගේ ආදරය, ගෞරවය සහ ස්තුතිය! අතුල කලුආරච්චි"



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk