2026-11-15 09:41:00 Hours

උතුරේදී ලෙඩ ගොඩක් ඇදපු ප්‍රභාගේ මස්සිනා අභාවප්‍රාප්ත වෙයි


...

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවුණා.

රෝගී තත්ත්වයකින් පසුවූ ශිවාජිලිංගම් මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඒ මහතා, මියයන විට වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළා.

යාපනයේ වඩමරච්චි, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපත ලැබූ ඔහු දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා සිය දේශපාලන ගමන ආරම්භ කර තිබෙනවා.

2001 සහ 2004 වසරවලදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශිවාජිලිංගම් මහතා, 2010 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වුණා.

එමෙන්ම 2013 වසරේදී උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළ ඔහු, යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාව මුහුණදුන් ගැටලු සම්බන්ධයෙන් පැවැති විරෝධතා සහ උපවාස සඳහා ද මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙක්.

අභාවප්‍රාප්ත ශිවාජිලිංගම් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk