2026-11-12 08:47:00 Hours

හූති මිසයිල දෙකක සුන්බුන් මක්කම ප්‍රදේශයට පතිත වෙයි


...

යෙමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් සහ සෞදි අරාබිය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක, සෞදි ගුවන් ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද බැලස්ටික් මිසයිල දෙකක සුන්බුන් මක්කම ප්‍රදේශයට පතිත වී තිබෙනවා.

හූති සටන්කාමීන් විසින් එල්ල කළ බව කියන මෙම මිසයිල දෙක සෞදි ගුවන් ආරක්ෂක පද්ධති මගින් අහසේදීම විනාශ කර ඇති බවයි සෞදි බලධාරීන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, එම මිසයිලවල සුන්බුන් සබූහා ගම්මානය ඇතුළු ප්‍රදේශ කිහිපයකට පතිත වී ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අංශ නිවේදනය කර තිබෙනවා.

සිවිල් ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතළ උල්ලංඝනයක් බවයි සෞදි සිවිල් ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත්, මක්කම සහ මදීනා යන ඉස්ලාම් දහමේ පූජනීය නගර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට සෞදි අරාබිය කරන චෝදනා හූති සංවිධානය මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තම හමුදා මෙහෙයුම් සෞදි අරාබියේ අනෙකුත් හමුදා සහ උපායමාර්ගික ඉලක්ක වෙත පමණක් යොමු කරන බවයි ඔවුන් පවසා ඇත්තේ.

2014 වසරේදී යෙමනයේ අගනුවර වන සානා නගරය හූතිවරුන් අත්පත් කර ගැනීමත් සමඟ එරට ජාත්‍යන්තරව පිළිගත් රජයට සහාය දැක්වීම සඳහා සෞදි අරාබිය 2015 වසරේදී යුදමය වශයෙන් මැදිහත් වුණා.

2022 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාමයත් සමඟ ගැටුම් බොහෝදුරට සමනය වී තිබුණද, මෑතකදී දෙපාර්ශ්වය අතර යළිත් සතුරුකම් උත්සන්න වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, මෙම තත්ත්වය හේතුවෙන් රතු මුහුද සහ ඒඩන් බොක්ක යා කරන ප්‍රධාන ජාත්‍යන්තර නාවික මාර්ගයක් වන බාබ් එල්-මන්ඩෙබ් සමුද්‍ර සන්ධියට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk