2026-11-12 19:33:00 Hours
2027 වසර සඳහා වන අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව, පුද්ගල ආදායම් බදු සහනය ඉහළ නැංවීම, රාජ්‍ය සේවක දීමනා වැඩි කිරීම, ප්‍රවාහන හා සෞඛ්‍ය සේවා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් නව යෝජනා රැසක් මෙවර අයවැයට ඇතුළත්.
බදු සහන සහ නව බදු සංශෝධන
පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව මසකට රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, මාසික වැටුප සහ දීමනා ලෙස රුපියල් 162,500ක් දක්වා ලබන පුද්ගලයන්ට ආදායම් බදු ගෙවීමට සිදු වන්නේ නැහැ.
එමෙන්ම පුද්ගල ආදායම් බදු අනුපාත 6%, 12%, 18%, 24%, 30% සහ 36% ලෙස සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබෙනවා.
ඒ අනුව එක් එක් බදු ගෙවන්නාට මාසිකව රුපියල් 750 සිට රුපියල් 15,750 දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇති.
එමෙන්ම පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අභ්‍යාස පොත් ඇතුළු මුද්‍රිත පොත්පත් එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
විශ්‍රාමිකයන්ට රුපියල් 2,500ක මාසික දීමනාවක්
2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට 2027 ජූලි පළමුවැනිදා සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් ලබාදීමට යෝජනා කර තිබෙනවා.
2025 වසරේ හඳුන්වා දුන් නව මූලික වැටුප් ව්‍යුහයට අනුව විශ්‍රාම වැටුප් සංශෝධනය 2028 අයවැයෙන් ආරම්භ කර අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
රාජ්‍ය සේවක දීමනා ඉහළට
ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ගමන් වියදම් සහ කාර්යාල කුලී දීමනා ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එම සංශෝධන 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ මාසික අවදානම් දීමනාව රුපියල් 8,000 සිට රුපියල් 16,000 දක්වා ඉහළ නැංවීමටත්, එම දෙපාර්තමේන්තුවේ සිවිල් නිලධාරීන්ගේ දීමනාව රුපියල් 2,250 සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 10,000කින් ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර, එය 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වනු ඇති.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දෛනික ආහාර දීමනාව ද නිලධාරීන් සඳහා රුපියල් 315කින් සහ සෙසු නිලයන් සඳහා රුපියල් 332කින් වැඩි කිරීමට යෝජිතයි.
වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට සහන
වෛද්‍ය නිලධාරීන්ට ගෙවන DAT දීමනාව රුපියල් 70,000 සිට රුපියල් 95,000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
පරිපූරක වෛද්‍ය, හෙද සහ අතුරු වෛද්‍ය සේවාවල නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට රුපියල් 12,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජිතයි.
අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශේෂ රාජකාරි දීමනාව ද රුපියල් 2,000 සිට රුපියල් 4,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම දීමනා වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත්, ඉතිරි සියයට 50ක ප්‍රමාණය 2028 වසරේදීත් ලබාදීමට නියමිතයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනා ඉහළට
විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ගෙවන අධ්‍යයන දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත්, ඉතිරි සියයට 50ක් 2028 ජූලි මාසයේ සිටත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම බාහිර කථිකාචාර්යවරුන්ට පැයකට ගෙවන රුපියල් 1,500ක දීමනාව රුපියල් 4,500 දක්වා තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන්ට පැයකට ගෙවන රුපියල් 600ක දීමනාව ද රුපියල් 1,800 දක්වා වැඩි කිරීමට නියමිතයි.
ප්‍රවාහන ක්ෂේත්රයට රුපියල් බිලියන 95ක්
දුම්රිය සහ මගී බස් සේවා නවීකරණය කිරීම ඇතුළු ප්‍රවාහන ක්ෂේත්රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 95,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
කොළඹ ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මෙට්‍රෝ බස් සේවාව මහනුවර, ගාල්ල සහ යාපනය නගර වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම චීන රජයේ පරිත්‍යාගයක් ලෙස විදුලි බස් රථ 100ක් මෙරටට ලැබීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය ඩිපෝ ඉදිකිරීම සහ ආරෝපණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 4,500ක් වෙන් කර තිබෙනවා.
දුම්රිය සේවයට නව දුම්රිය පහක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 5,000ක් ද, දුම්රිය ස්ථාන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2,000ක් ද වෙන් කිරීමට යෝජිතයි.
මීට අමතරව කැලණිවැලි, ප්‍රධාන සහ වෙරළබඩ දුම්රිය මාර්ගවල තෝරාගත් කොටස් විදුලිකරණය කිරීම සඳහා රුපියල් මිලියන 80,000ක් වෙන් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්රයට අමතර ප්‍රතිපාදන
මහජන සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 131ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහ රෝහල් හයක් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට යෝජනා කර ඇති අතර, ඒවා වන්නේ මන්නාරම, මුලතිව්, වවුනියාව, කිලිනොච්චිය, ගම්පහ සහ අවිස්සාවේල්ල රෝහල්.
එමෙන්ම MRI, CT සහ Cath Lab ඇතුළු නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව තවත් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
2027 වසරේදී සුවසැරිය ගිලන් රථ සේවයට ඉන්දීය ආධාර යටතේ නව ගිලන් රථ 100ක් එක් කිරීමට ද නියමිතයි.
පාසල් දරුවන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමටත්, කොළඹ ජාතික රෝහල තුළ අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත් යෝජනා කර තිබෙනවා.
අලි ඇතුන් ආරක්ෂා කිරීමට නව වැඩපිළිවෙළක්
නාච්චදූව වැව සහ මහකනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කර තිබෙනවා.
නව විදුලි වැට ඉදිකිරීම සහ පවතින විදුලි වැට ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කර ඇති අතර, වනජීවී අරමුදලෙන් තවත් රුපියල් මිලියන 200ක් ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂා කරනවා.
වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ තාප සංවේදී කැමරා යොදාගනිමින් ආරම්භ කළ නියමු ව්‍යාපෘතිය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ද යෝජිතයි.
එමෙන්ම වන සතුන්ට ප්‍රතිකාර කළ හැකි රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කිරීමටත්, වන අලින් මැරීම, දඩයම් කිරීම සහ නීතිවිරෝධී ලෙස අල්ලා ගැනීම සම්බන්ධයෙන් පනවන දඩ මුදල් ඉහළ නැංවීමටත් යෝජනා කර තිබෙනවා.
ගංවතුර පාලනයට නව ව්‍යාපෘති රැසක්
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීම සඳහා නව ව්‍යාපෘති රැසක් 2027 වසරේදී ආරම්භ කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ යටතේ වත්තල, කැලණිය සහ බියගම ප්‍රදේශ ආවරණය වන මුදුන් ඇළ ව්‍යාපෘතිය, පිළියන්දල සහ කැස්බෑව වැසි ජලාපවහන පද්ධති සංවර්ධනය කිරීම සහ උතුරු කොළඹ ප්‍රදේශයේ ගංවතුර පාලනය සඳහා සෙබස්තියන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම ප්රමුඛ වනවා.
එමෙන්ම කිරුළපන ඇළ සහ හැමිල්ටන් ඇළ සංවර්ධනය කිරීමටත්, දික්වැල්ල, බේරුවල, රත්ගම, වාද්දුව සහ මොල්ලිගොඩ ප්‍රදේශවල වැසි ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීමටත් සැලසුම් කර තිබෙනවා.
වැසි ජලය කළමනාකරණය වෙනුවෙන් රුපියල් මිලියන 7,700ක් වෙන් කිරීමට ද යෝජිතයි.
සංචාරක කර්මාන්තය නංවාලීමට නව යෝජනා
ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන පරිදි මධ්‍යගත මාර්ගගත ඊ-ටිකට්පත් පද්ධතියක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා.
කොළඹ කොටුව ආශ්රිත ඓතිහාසික ගොඩනැඟිලි සංරක්ෂණය කර සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, යාපනය, මන්නාරම, කල්පිටිය සහ මඩකලපුවේ පිහිටි ඓතිහාසික ලන්දේසි බලකොටු සංචාරක සංවර්ධන මධ්‍යස්ථාන බවට පත් කිරීමටත් සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
සාගර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා බෝට්ටු ඇතුළු උපකරණ මිලදී ගැනීමට සංචාරක සේවා සපයන්නන්ට සහනදායී ණය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක් ද වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 487ක්
මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 487ක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව රත්නපුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 83,680ක් ද, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස සඳහා රුපියල් මිලියන 53,450ක් ද වෙන් කර තිබෙනවා.
එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල කොටස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන් කිරීමටත් යෝජනා කර තිබෙනවා.
අධ්‍යාපනය සහ පාසල් පද්ධතියට නව යෝජනා
පාසල් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 35,000ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
ප්‍රාථමික පාසල් 4,000කට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, ලබන වසරේදීත් චීනයෙන් පාසල් නිල ඇඳුම් ලබාගැනීමටත් සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
ගුරු පුහුණුව ලබන සිසුන්ට ලබාදෙන දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළ නැංවීමටත්, දහම් පාසල් ගුරුවරුන්ගේ වාර්ෂික දීමනාව රුපියල් 5,000කින් වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම විශ්වවිද්‍යාල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,250ක් සහ වෘත්තීය අධ්‍යාපන ආයතන නවීකරණය සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කිරීමට ද යෝජිතයි.
ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් රුපියල් බිලියන ගණනක ආයෝජන
ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 28,500ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
2027 වසරේදී සයිබර් ආරක්ෂණ අධිකාරියක් ස්ථාපිත කිරීමටත්, ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
2030 වසර වනවිට සෑම ගමකටම සන්නිවේදන පහසුකම් ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 9,000ක් වෙන් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
බලශක්ති ක්ෂේත්රයේ වෙනස්කම් රැසක්
ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව දින 45ක් දක්වා ඉහළ නැංවීමටත්, කටුනායක ගුවන් තොටුපළට ඉන්ධන සැපයීම සඳහා නව නල පද්ධතියක් ඉදිකිරීමටත් යෝජනා කර තිබෙනවා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
නොරොච්චෝලේ බලාගාරයේ හදිසි අවස්ථාවලදී විදුලිය ලබාගැනීම සඳහා මෙගාවොට් 30ක බැටරි පද්ධතියක් සවි කිරීමටත්, 2027 වසර තුළ බැටරි ගබඩා පද්ධති ධාරිතාව මෙගාවොට් 560 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර තිබෙනවා.
වහල මත සූර්ය පැනල සවි කර ඇති පාරිභෝගිකයන්ට බැටරි මිලදී ගැනීම සඳහා සහනාධාර ලබාදීමටත්, එම බැටරි සඳහා අදාළ වරාය හා ගුවන් සේවා බද්ද ඉවත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහනදායී ණය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායී ණය ලබාදීම සඳහා රුපියල් මිලියන 67,687ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
ග්‍රාමීය ව්‍යවසාය ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන පහක උපරිම ණය මුදලක් සියයට 4ක පොලී අනුපාතයක් යටතේ ලබාදීමටත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කිරීමටත් සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
කුඩා මෝල් හිමියන්ට පොලී රහිත ඔඩපණ ණය ලබාදීම සහ ගෘහාශ්‍රිත සංචාරක කර්මාන්තය සඳහා සහනදායී ණය ක්‍රමයක් හඳුන්වාදීමට ද යෝජනා කර තිබෙනවා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියන 100ක ත්‍යාගයක්
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රුපියල් මිලියන 300ක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගන්නා ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටත්, ලෝක මලල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් සඳහා රුපියල් මිලියන 100ක් ලබාදීමටත් යෝජනා කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 75ක් සහ ආසියානු රන් පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 15ක් ලබාදීමට ද යෝජිතයි.
වෙනත් ප්‍රධාන අයවැය යෝජනා
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැර ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 600ක්.
- රථවාහන ලියාපදිංචිය සහ හිමිකාරිත්වය පැවරීම ඩිජිටල්කරණයට රුපියල් මිලියන 700ක්.
- රියදුරු අකුසලතා ලකුණු පද්ධතිය සහ මාර්ග ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1,500ක්.
- පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 9,500ක්.
- බිම්සවිය වැඩසටහන ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 800ක්.
- කර්මාන්ත පුර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4,000ක්.
- රේගු ස්කෑන් යන්ත්‍ර යාවත්කාලීන කිරීමට රුපියල් මිලියන 1,000ක්.
- ජාතික තනි වෙළඳ කවුළුව ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1,990ක්.
- රාජ්‍ය ආයෝජන සඳහා රුපියල් බිලියන 2,000ක්.
මේ අතර තෝරාගත් HS කේත 800කට අදාළ සෙස් බදු අනුපාත සියයට 25කින් අඩු කිරීමටත්, ආනයනික සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 10කින් වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා.
පුවත්පත් මුද්‍රණ කඩදාසි ආනයනය සඳහා අය කරන සියයට 10ක වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද 2027 ජනවාරි පළමුවැනිදා සිට ඉවත් කිරීමට ද යෝජනා කර තිබෙනවා.
ජනාධිපතිවරයා සඳහන් කළේ, මධ්‍යකාලීන ආර්ථික ඉලක්කය ලෙස සියයට 7ක හෝ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීම රජයේ අපේක්ෂාව බවයි.
එමෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීම, ආයෝජන ප්‍රවර්ධනය, බලශක්ති සුරක්ෂිතතාව සහ රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කිරීම මෙවර අයවැයේ ප්‍රධාන අරමුණු අතර වනවා.
මේ අතර නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දීමනා ඉහළ නැංවීමට 2027 අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක, අතිරේක නීති කෙටුම්පත් සම්පාදක සහ නියෝජ්‍ය නීති කෙටුම්පත් සම්පාදක තනතුරුවල නිලධාරීන්ගේ විශේෂ දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට නියමිතයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ සහකාර නීති කෙටුම්පත් සම්පාදක සහ සහකාර නීති කෙටුම්පත් සම්පාදක නිලධාරීන්ගේ විශේෂ දීමනාව රුපියල් 20,000කින් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත්, ඉතිරි සියයට 50 2028 වසරේදීත් ලබාදීමට නියමිතයි.
මේ අතර, 2027 ජූලි මාසයේ සිට අදාළ නිලධාරීන්ගේ මාසික රියදුරු දීමනාව රුපියල් 10,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.
නීතිපති, සොලිසිටර් ජනරාල් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ යන තනතුරු සඳහා ගෙවනු ලබන වෘත්තියක නොයෙදීමේ මාසික දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට ද මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සහ රජයේ අධිනීතිඥ තනතුරුවල නිලධාරීන්ගේ එම දීමනාව රුපියල් 20,000කින් වැඩි කිරීමට නියමිතයි.
එම දීමනා වැඩිවීමෙන් සියයට 50ක් 2027 ජූලි මාසයේ සිටත්, ඉතිරි කොටස 2028 වසරේදීත් ලබාදීමට යෝජිතයි.
තවද, නිල වාහන සඳහා හිමිකම් ඇති නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000කින් වැඩි කිරීමටත්, රියදුරු දීමනාව රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා ඉහළ නැංවීමටත් යෝජනා කර තිබෙනවා. ඊට අමතරව ඔවුන්ට ගෙවනු ලබන නිවාස දීමනාව ද සියයට 100කින් වැඩි කිරීමට නියමිතයි.
අධිකරණ සහායක කාර්ය මණ්ඩලයේ වැඩ ප්‍රමාණය සහ වගකීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ට ගෙවනු ලබන අදාළ දීමනා 2027 අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.
ආරක්ෂක ක්ෂේත්රයේ නව පර්යේෂණ මධ්‍යස්ථානයක්
මේ අතර, ආරක්ෂක අංශ විසින් සිදුකරන පර්යේෂණ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව 'ආරක්ෂක සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයක්' පිහිටුවීමට රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කර තිබෙනවා.
එමෙන්ම ආරක්ෂක හමුදාවල ඉදිකිරීම් කටයුතු සඳහා බඳවාගෙන සිටින කණ්ඩායම් රජයේ සංවර්ධන වැඩසටහන් සඳහා යොදාගැනීමේදී ඔවුන්ට විශේෂ දීමනාවක් ලබාදීමට ද යෝජනා කර තිබෙනවා.
2009 වසරට පෙර හමුදාවට බැඳුණු රණවිරුවන්ගේ මව්පියන්ට දැනට ගෙවනු ලබන රුපියල් 750ක මාසික දීමනාව ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කිරීමට යෝජනා කර ඇති අතර, එය 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
ත්‍රිවිධ හමුදාවේ සිටින ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් යොදාගනිමින් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා උපදේශන සේවා සපයන ආයතනයක් පිහිටුවීමට ද යෝජනා කර තිබෙනවා.
මීට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ ඩිජිටල් හා සයිබර් ආරක්ෂක පද්ධති නවීකරණය කිරීම, ඩිජිටල් වෝහාරික පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීම සහ දේශසීමා ආරක්ෂාවට අදාළ තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා.
අධිකරණ ඩිජිටල්කරණයට රුපියල් මිලියන 5,115ක්
අධිකරණ ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නව තාක්ෂණය හඳුන්වාදීම සඳහා ද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
ඒ අනුව යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවරඑළිය, කෑගල්ල, ගම්පහ, කළුතර, මහනුවර සහ කොළඹ පිහිටි අධිකරණවල පහසුකම් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 5,115ක් වෙන් කර ඇති බව සඳහන්.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 60ක් ද වෙන් කර තිබෙනවා.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ ඊ-ගොනුකිරීමේ ද්වාරය, කඩදාසි රහිත නඩු විභාග, ඒකාබද්ධ නඩු කළමනාකරණය සහ මාර්ගගත ගෙවීම් ක්‍රමය ඇතුළත් ඩිජිටල් වැඩපිළිවෙළ ද ක්‍රියාත්මකයි.
එම වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ක්‍රියාත්මක කිරීම අවසන් කර ඇති අතර, අනෙකුත් අධිකරණවල ද එය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
කොළඹ බන්ධනාගාර සංකීර්ණය වෙනත් ස්ථානයකට
මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය අවම කිරීම සඳහා ද මෙවර අයවැයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
බන්ධනාගාර 22ක සහ වැඩ කඳවුරු 14ක පුද්ගලයන් 16,500ක් පමණ රඳවා තැබීමේ ධාරිතාවක් පැවතියද, මේ වන විට එහි රැඳවියන් 36,500කට ආසන්න පිරිසක් රඳවා සිටින බව අයවැය යෝජනාවල සඳහන්.
ඒ අනුව වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ඇතුළු කොළඹ බන්ධනාගාර සංකීර්ණය වෙනත් ප්‍රදේශයකට ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම ගාලු උරුම නගර සංවර්ධන සැලැස්මට සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට සමගාමීව, දැනට ගාල්ලේ පිහිටි බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට ද යෝජනා කර තිබෙනවා.
අඩු ආදායම්ලාභීන්ට නිවාස 70,000ක්
මේ අතර අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා 'තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්' වැඩසටහන යටතේ නිවාස 70,000ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
එම වැඩසටහන යටතේ 2027 වසරේදී නව නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, එක් නිවසක් සඳහා ලබාදෙන ආධාර මුදල රුපියල් ලක්ෂ 10 සිට රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවති යුදමය ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 13,000ක් තවමත් නැවත පදිංචි කර නොමැති අතර, එම පවුල් වසර දෙකක් ඇතුළත නැවත පදිංචි කිරීම රජයේ ඉලක්කය වී තිබෙනවා.
වතු ප්‍රජාවගේ නිවාස ගැටලුව විසඳීම සඳහා ඉන්දීය රජයේ සහයෝගයෙන් ආරම්භ කළ නිවාස 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන ද තවදුරටත් වේගවත් කිරීමට නියමිතයි.
එමෙන්ම දිට්වා නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 90,000ක් පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් වෙන් කිරීමට ද අපේක්ෂා කරනවා.
කොමිෂන් සභා සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ දීමනාත් ඉහළට
මේ අතර ස්වාධීන සහ අනෙකුත් කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ හා සාමාජිකයන්ගේ මාසික දීමනා ඉහළ නැංවීමට ද යෝජනා කර තිබෙනවා.
එම දීමනා 2018 වසරේ සිට සංශෝධනය කර නොමැති බව අයවැය යෝජනාවල සඳහන්.
එමෙන්ම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්, විධායක අධ්යක්ෂවරුන් සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන්ගේ මාසික දීමනා ද ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
එම දීමනා 2015 වසරේ සිට වැඩි කර නොමැති බැවින්, ඔවුන්ගේ වගකීම් සැලකිල්ලට ගනිමින් 2027 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට නියමිතයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk