2026-11-06 11:49:00 Hours

කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාගෙන් පෙරළිකාර තීන්දුවක්


...

කැලිෆෝනියා ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයින් 548 දෙනාගේම දඬුවම් වෙනස් කර, ඇප ලබාගත නොහැකි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් බවට පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) තීරණය කර තිබෙනවා.

ජනතාව වෙත විවෘත ලිපියක් යොමු කරමින් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත්තේ, වින්දිතයන් සැමවිටම සිහිපත් කරමින් සහ ඔවුන්ට ගෞරව කරමින්, මෙම වැරදිකරුවන්ට සිරගෙදරදීම කිසිවෙකුගේ අවධානයකින් තොරව මිය යාමට ඉඩ හැරිය හැකි බවයි.

2006 වසරෙන් පසු කැලිෆෝනියා ප්‍රාන්තය තුළ කිසිදු සිරකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති පසුබිමක මෙම තීරණය බොහෝ දුරට සංකේතාත්මක පියවරක් ලෙස සැලකෙනවා.

කෙසේ වෙතත්, මරණ දඬුවම් සම්බන්ධයෙන් වාර්ෂිකව අධිකරණ කටයුතු සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

1978 වසරේදී ඡන්දදායකයන් විසින් මරණ දඬුවම යළි ස්ථාපිත කිරීමෙන් පසු කැලිෆෝනියාවේ ක්‍රියාත්මක කර ඇත්තේ සිරකරුවන් 13 දෙනෙකුගේ මරණ දඬුවම් පමණයි.

ඇමෙරිකාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරයා වන නිව්සම්, 2028 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයෙකු ලෙස ද මේ වනවිට සාකච්ඡාවට ලක්ව සිටිනවා.

ධුර කාල සීමාව හේතුවෙන් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වීමට නියමිත නිව්සම් සිය ධුරයේ අවසන් මාස කිහිපය ගත කරමින් සිටින අතර, ඉදිරි මැතිවරණයෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේම ඛේවියර් බෙසෙරා (Xavier Becerra) එම ධුරයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk