2026-09-28 08:25 Hours

සාදවල කසාදවල සින්දු කිව්වට දැනට සල්ලි ගන්නේ නෑ - ACPOSL


...

පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණ සඳහා මුල් රචකයන්ට සහ සංගීත අධ්‍යක්ෂවරුන්ට කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන විධායක රංග දසනායක මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මහා සභා රැස්වීම දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

මේ අතර, අදාළ ගැසට් පත්‍රය මුල් කර ගනිමින් අභූත චෝදනා සමාජගත කර ඇති බව එම සංගමයේ සභාපති නිලාර් එන්. කාසිම් මහතා ප්‍රකාශ කළා.

ඔහු අවධාරණය කළේ මෙය රජය විසින් අය කරන බද්දක් නොවන බවත්, නිර්මාණකරුවන් වෙනුවෙන් අය කරන කර්තෘභාගයක් පමණක් බවත්ය.

අය කරගන්නා කර්තෘභාගය එම සංගමයේ සාමාජික නිර්මාණකරුවන් වෙත බෙදාදීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.

යෝජිත ක්‍රමවේදය අනුව පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණ සඳහා අදාළ කර්තෘභාගය ගෙවීම උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන බව රංග දසනායක මහතා පෙන්වා දුන්නා.

වෙනත් රටවලද මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක වන බවත්, ඒ අනුව උත්සවයේ හිමිකරු විසින් අදාළ බලපත්‍රය ලබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක මහතා සඳහන් කළේ, ගීත නිර්මාණයක මුල් අයිතිකරුවන් වන ගීත රචකයාගේ සහ සංගීත අධ්‍යක්ෂවරයාගේ අයිතිය සුරැකීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

“කවුරුත් වැඩිපුර කතා වෙන්නේ ගායකයා ගැන පමණයි. ගීත රචකයා හෝ සංගීත අධ්‍යක්ෂවරයාගේ ගැන කතා කරන ප්‍රමාණය ඉතාම අල්පයි. නමුත් ඔවුන්ට වෙනත් කිසිම ආදායමක් තිබුණේ නැත්නම් ඔවුන්ට හිමි වෙන්නේ මේ කර්තෘභාගය පමණයි.

ගීත නිර්මාණය කරන අයටත් ආදරය කරන්න පුරුදු වෙන්න. ගීත නිර්මාණය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් වගේ දෙයක්. ඕනම ගීතයක් ගායනා කරන්නේ සංගීත ශිල්පියා වෙන්න පුළුවන්. නැත්නම් ගීත රචකයා වෙන්න පුළුවන්. ඒ නිසා ගීතයේ මුල් අයිතිකරු ඒ ගීතය හදපු කෙනා.

ඒ නිසා කාගේ හෝ ගීතයක් සංදර්ශන වේදිකාවේදි ගායනා කරනවා නම්, කිසියම් මුදලක් මේ ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවිය යුතුයි. ඕනම ගීතයකට අයිතිකරුවෙක් ඉන්නවා. ඒ නිසා ඒ ගීත ඕන කෙනෙකුට මගේ ගීත කියන්න පුළුවන් කියලා තමන් නොලියන ගී ගැන ගායකයෙකුටවත් කියන්නත් බැහැ.”



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk