2026-08-23 10:02:00 Hours

ලක් ගී අඹරේ යශෝරාවය නන්දා මාලනීගේ 83 වැනි ජන්ම දිනය අද


...

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ 83 වැනි ජන්ම දිනය අදට (23) යෙදී තිබෙනවා. 1943 වසරේ අගෝස්තු මස 23 වැනිදා අලුත්ගම ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය, නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ඇයගේ ගායන හැකියාව හඳුනාගත් ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට ඇයට අවස්ථාව හිමිවිය. කාව්‍ය තරගයකදී ඇයගේ දක්ෂතාව හඳුනාගත් ගුරුවරියක් විසින් ඇය එවකට කරුණාරත්න අබේසේකරයන් මෙහෙයවූ ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබෙනවා. එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය ජනප්‍රිය වීමත් සමග නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය. 1961 වසරේ නිෂ්පාදනය කළ මෙරට පළමු වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටය වෙනුවෙන් නාරද දිසාසේකර මහතා සමග යුග ගීයක් ගායනා කිරීමටද ඇයට අවස්ථාව හිමිවිය. ඒ අනුව ඇය ගායනා කළ පළමු චිත්‍රපට ගීතය වූ "ගලන ගඟකි ජීවිතේ" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්විය. දශක ගණනාවක් පුරා සිය මධුර හඬින් මෙරට රසික හදවත් අමන්දානන්දයට පත් කළ නන්දා මාලනී මහත්මියගේ ගීත රැසක් අදටත් ජනප්‍රිය අතර, "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ", "පිරිත් පැන්" සහ "ඔබයි රම්‍ය සඳ කිරණ" ඒ අතර ප්‍රධාන වේ. සිය දීර්ඝ සංගීත දිවිය තුළ සම්මාන රැසකින්ද පිදුම් ලැබූ නන්දා මාලනී මහත්මිය පසුගිය 20 වැනිදා නාවල පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූයේ 82 වැනි වියේ පසුවෙමිනි. ඇයගේ අභාවය වෙනුවෙන් රජය විසින් දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කළ අතර, පසුගිය 21 සහ 22 යන දෙදින මෙන්ම අද දිනයද එම ශෝක කාලයට ඇතුළත් විය. නාවල පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබූ ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේශපාලනඥයින්, කලාකරුවන් සහ මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ඊයේ පෙරවරුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පස්වරු 3.30ට රිය පෙරහැරකින් බොරැල්ල කනත්ත වෙත රැගෙන යනු ලැබුවා. ඇයගේ අන්තිම කැමති පත්‍රයට අනුව කිසිදු උත්සව සභාවක් හෝ ගුණකථන පැවැත්වීමකින් තොරව දේහය ආදාහනය කෙරුණා. ඒ අනුව දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ නන්දා මාලනී නම් වූ සුවිශේෂී කලා ශිල්පිනිය ඊයේ පස්වරුවේ දැයෙන් සදහටම සමුගත්තා. ඇය අද සිය 83 වැනි ජන්ම දිනය සමරන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් ලෙසිනි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk