2026-11-14 19:14:00 Hours
අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හත්දෙනාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා ද වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනා නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා මීට පෙර නියෝග කළා.
කස්සප හිමියන් ඇතුළු තුන්නමක් මාරාන්තික උපවාසයක නිරතව සිටි රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ පසුගිය 12 වනදා දැඩි කලහකාරී තත්ත්වයක් ඇතිවුණේ, භික්ෂූත්වයෙන් නෙරපා ඇති බවට සඳහන් වන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි.
එහිදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර, එම ගැටුමේදී රාජාංගණයේ සද්ධාරතන නමැත්තාගේ හිසට පොලු ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පොලිස් භාරයට ගත් කස්සප හිමියන් ද එම රෝහලට ඇතුළත් කර තිබුණා.
ඒ අනුව, සැකකරුවන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට පසුගිය 12 වනදා රාත්‍රියේ ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිදුකළ නිරීක්ෂණයෙන් අනතුරුවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණේ.
මේ අතර, පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට එම අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, කස්සප හිමියන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඒ බව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කර ඇති බව සඳහන්.
මේ අතර, රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ප්‍රතිකාර ලබා ඊයේ (13) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පිටව ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත්, ඔහු රජයේ අවශ්‍යතාවක් මත එම ස්ථානයට පැමිණ කලහකාරී තත්ත්වයක් ඇති කළ බවට පාර්ශ්ව කිහිපයක් චෝදනා එල්ල කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk