2026-10-13 11:18:00 Hours
විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගෙන් එල්ල වූ විවේචන සහ ඉදිරිපත් වූ ගැටලු සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඔක්තෝබර් 12 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම දක්වා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.
පසුගිය සති කිහිපය තුළ ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු අදහස් හා යෝජනා මත මෙම තීරණය ගත් බව ද සංගමය සඳහන් කරනවා.
යෝජිත බලපත්‍ර ක්‍රමවේදය සහ ඊට අදාළ ගාස්තු සමාලෝචනය කර සංශෝධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ ව්‍යුහගත සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට ද නියමිතයි. සියලු පාර්ශ්වයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙමින් වඩාත් සාධාරණ ක්‍රමවේදයක් සකස් කිරීම එහි අරමුණ බව ACPOSL පවසනවා.
එම සාකච්ඡාවලින් අනතුරුව සකස් කෙරෙන සංශෝධිත ක්‍රමවේදය නොවැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමට ඉදිරිපත් කර සාමාජික අනුමැතිය ලබාගැනීමට නියමිතයි. ඉන් අනතුරුව අදාළ නීතිමය ක්‍රියාපටිපාටියට අනුව එය රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ද සංගමය සඳහන් කළා.
මේ අතර, බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමෙන් සංගමයේ පවතින අයිතිවාසිකම්, නීතිමය පිළියම් හෝ නීතිමය තත්ත්වයට බලපෑමක් සිදු නොවන බව ද ACPOSL අවධාරණය කරනවා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවලදී සිදුකළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව ද සංගමය කණගාටුව පළ කර තිබෙනවා.
නිර්මාණකරුවන්, රචකයන් සහ ප්‍රකාශකයන් වෙනුවෙන් සාධාරණ, පාරදෘශ්‍ය සහ තිරසාර පද්ධතියක් ගොඩනැගීම සිය අරමුණ බව පවසන සංගමය, නිර්මාණකරුවන්, ප්‍රකාශකයන්, සංගීතඥයන්, උත්සව සංවිධායකයන් සහ ස්ථාන හිමියන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ද ඉල්ලා සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk