2026-10-23 13:32:00 Hours
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත්රයා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ කරුණු ඇතුළත් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා.
මේ දිනවල පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්රකාශයක් පදනම් කරගනිමින්, ඔහුගේ ලේකම්වරයෙකු විසින් මෙම ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක විසින් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවකදී එම ලිපිය ඔහුට භාරදී ඇති බවයි.
ලිපිය මඟින් මහින්ද රාජපක්ෂ සිය පුත්රයාට අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිවක් කෙරෙහි නොව අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි.
2010 වසරේදී නාමල් රාජපක්ෂ දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේදී, සිරගත වීමට සහ දුක් විඳීමට සූදානම් නම් පමණක් ඊට අවසර දුන් බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබෙනවා.
තම දේශපාලන ගමනේ මුල් අවධියේදී තමන්ද පදනම් විරහිත චෝදනා මත බන්ධනාගාරගත වූ බව එම ලිපියේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, තමන් සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මේ වන විට නවලෝක රෝහලේ ප්රතිකාර ලබන බවත්, යෝෂිත සහ රෝහිත යන පුතුන් දෙදෙනා තම සුවදුක් සොයා බලන බවත් මහින්ද රාජපක්ෂ එම ලිපියෙන් නාමල්ට දැනුම්දී ඇති බව සඳහන්.
"ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!”
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk