2026-11-14 21:20:00 Hours

මීමුරේ කැලෑවක ගල් ගුහාවක සිටි අතුරුදන් 15 හැවිරිදි දැරිය මාස දෙකක බිළිඳියක් සමඟ සොයාගනී


...

නකල්ස් කඳුකරයේ බටහිර බෑවුම ආසන්නයේ පිහිටි උඩුදුම්බර, මීමුරේ කන්දකැටිය ප්‍රදේශයෙන් මාස පහකට පමණ පෙර අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් මාස දෙකක් වයසැති බිළිඳියක් සමඟ කැලෑවක පිහිටි ගල් ගුහාවක සිටියදී සොයාගෙන තිබෙනවා.

දැරිය අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් උඩුදුම්බර පොලිසියට පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශන අතරතුර ප්‍රදේශයේ වෙළඳසැලකින් දිනපතා සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සහල් ප්‍රමාණයක් මිලදී ගන්නා තරුණයෙකු පිළිබඳව පොලිසියට සැක මතුව තිබෙනවා.

ඒ අනුව ඔහු පිළිබඳව විමසිල්ලෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු පසුපස ගොස් ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑ ප්‍රදේශයකට ළඟා වී ඇති අතර, එහි ඉටි රෙදිවලින් ආවරණය කළ ගල් ගුහාවක සිටි අදාළ දැරිය සහ බිළිඳිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයෙකු සහ ඔහුට සහාය ලබාදුන් බව කියන 36 හැවිරිදි ඥාතියෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දැරිය ගල් ගුහාව තුළදීම බිළිඳිය ප්‍රසූත කර ඇති බවයි.

එහිදී බිළිඳියගේ පෙකණි වැල තියුණු ආයුධයකින් කපා ඇති බවත්, කැලෑවෙන් සොයාගත් බව කියන අත්බෙහෙත් භාවිත කරමින් මවට සහ බිළිඳියට ප්‍රතිකාර කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් භාරයට ගත් මව සහ බිළිඳිය පසුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk