2026-10-31 22:10 Hours

අත්හදා බැලීම් අතේ පත්තු වෙයි - තුන්කොන් තරඟාවලියේ ජය පාකිස්ථානයට


...

ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමඟ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා.

ඒ, අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 326ක ඉලක්කය කඩුලු 7ක් දැවී පන්දුවාර 48යි පන්දු 3කදී පසුකර යමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 326ක් රැස් කළා.

එම ඉලක්කය හඹාගිය පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෆකර් සමාන් පන්දු 99කදී ලකුණු 127ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 11ක් සමඟින්. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර දිවියේ 12 වැනි ශතකයයි.

තරගයේ මුල් අවස්ථාවේදීම බාබර් අසාම් ඇතුළු පාකිස්තාන මුල්පෙළ කඩුලු දෙකක් ලකුණු 14ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

කෙසේ වෙතත්, ෆකර් සමාන් සහ 19 හැවිරිදි සාද් බෙග් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140කදී ලකුණු 149ක සම්බන්ධතාවක් ගොඩනඟමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

සාද් බෙග් පන්දු 75කදී ලකුණු 74ක් රැස් කළ අතර, අනතුරුව පිටියට පිවිසි සෙසු පිතිකරුවන්ද වගකීමෙන් යුතුව පන්දුවට පහරදෙමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඩිල්ෂාන් මධුසංඛ පන්දුවාර 10කදී ලකුණු 63කට කඩුලු 3ක් දවාගත්තා.

ඒ අනුව තරගාවලියේ ශූරතාව පාකිස්තානයට හිමිවූ අතර, ශ්‍රී ලංකාවට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk