2026-11-14 21:03:00 Hours

යළි දේශපාලනයට එන්න අදහසක් නැහැ - කංචන


...

තමන්ට යළි දේශපාලනයට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ අද (14) විශේෂ සටහනක් තබමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

"අද, නොවැම්බර් 14 වැනිදා මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරනවා. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි..

මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය. ඉන් මාසයකට පසු මම දේශපාලනයෙන් සහ ඊට අදාළ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමි.

දේශපාලනයේ නිරතව සිටි කාලය තුළ මට ලැබුණු අවස්ථා මෙන්ම, මා කෙරෙහි තැබූ විශ්වාසය සහ මා සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු සියලු දෙනාගෙන් ලැබුණු මඟපෙන්වීම්, නායකත්වය සහ දිරිගැන්වීම් වෙනුවෙන් මම අවංකවම කෘතඥ වෙමි. එම කාල පරිච්ඡේදය දෙස අද යළි හැරී බලන්නේ කෘතඥතාවයෙනි.

දේශපාලන ක්ෂේත්‍රයේ සිට ආයතනික ක්ෂේත්‍රයට මාරු වීමේ ක්‍රියාවලිය ආරම්භ කර මේ වන විට මාස 23ක් ගත වී ඇත. එය මුලින් අර්ධකාලීන කටයුත්තක් ලෙස ආරම්භ වුවද, ක්‍රමයෙන් පූර්ණකාලීන වගකීමක් සහ කැපවීමක් බවට පත්ව ඇත. මම එම කාර්යය අවංකවම භුක්ති විඳින අතර, එය මට මහත් තෘප්තියක් ද ගෙන දෙයි.

ජීවිතයේ සෑම පරිච්ඡේදයකටම ඊට ආවේණික වූ අරමුණක් පවතී. ඇතැම් පරිච්ඡේද අපට යම් යම් පාඩම් උගන්වන අතර, තවත් සමහරක් අපව හැඩගස්වයි. ඇතැම් අවස්ථාවලදී ඒවා අප සම්පූර්ණයෙන්ම වෙනස් ගමනක් සඳහා සූදානම් කරයි. අද දිනය මට සිහිපත් කිරීම්, ආවර්ජනය කිරීම් සහ කෘතඥතාව පළකිරීම්වලින් පිරුණු දිනයකි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk