2026-11-14 19:53:00 Hours

ශ්‍රී ලංකන් ගුවන් සේවය 2029 වන විට යානා 29ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුමක්


...

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සංචිතය 2029 වසර වන විට අවම වශයෙන් යානා 29ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, ලබන ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිඩ්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමට අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා මිලදී ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා වූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව පවතින ගුවන් යානා සංඛ්‍යාව 23ක් වන අතර, ඒවායේ සාමාන්‍ය වයස වසර 12ක් පමණ වන බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වන බවත්, එක් යානයක දෝෂයක් ඇති වූ විට විකල්ප යානා යෙදවීමට ඇති සීමා නිසා සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපෑම් එල්ල වන බවත් සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර, ගුවන් යානා මිලදී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම සහ ඒ හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු වුණා.

ඊට විසඳුමක් ලෙස ගුවන් යානා සහ ඒ ආශ්‍රිත උපකරණ මිලදී ගැනීම සඳහා විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති අතර, එය ගැසට් කිරීම සඳහා ද කටයුතු සූදානම් කර තිබෙනවා. ප්‍රසම්පාදන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ඒකකයක් ද පිහිටුවා ඇති බව සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා පැරණි බැංකු ණය සහ බැඳුම්කර ණය මහා භාණ්ඩාගාරය මඟින් පවරා ගැනීම ඇතුළු පියවර ගෙන ඇති බව ද මෙහිදී පැහැදිලි කෙරුණා.

ගුවන් යානා ලීසිං ගාස්තු අඩු කිරීම, ඉන්ධන පිරිවැය පාලනය සහ ආදායම් ඉහළ නැංවීම සඳහා වාණිජ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.

මැදපෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ගුවන් සේවයේ මෙහෙයුම් හා ආදායම් කෙරෙහි බලපාන බව මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය පත් කළ කමිටුව නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේ පවත්වාගෙන යමින් පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම ඇතුළු විකල්ප සලකා බලමින් සිටිනවා.

ඒ අනුව, ඉදිරි වසර දෙක තුන ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙසයි කාරක සභාව බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk