2026-11-12 08:33:00 Hours

2027 අයවැය අද පාර්ලිමේන්තුවට


...

2027 වසර සඳහා වන රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම සිදු කිරීමට නියමිතයි.

අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමු වර කියවීම පසුගිය ඔක්තෝබර් 07 වැනිදා කම්කරු අමාත්‍ය සහ මුදල්, ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

දෙවන වර කියවීමේ විවාදය හෙට (13) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම එදින පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, අයවැයේ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

මේ අතර, මේ වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

2025 වසරේ පළමු මාස නවය තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් වාර්තා වී තිබුණද, මේ වසරේ එම කාලසීමාව තුළ රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව මේ වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4,594.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, පළමු මාස නවය තුළ බදු ආදායම සියයට 19කින් සහ බදු නොවන ආදායම සියයට 30කින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk