2026-11-24 19:16:00 Hours

මෙරට පළමු ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කරයි


...

ශ්‍රී ලංකාවේ පළමු පුළුල් ජාතික බැටරි පරීක්ෂණ මධ්‍යස්ථානය වන ‘විද්‍යුත් සංචලතා සහ බැටරි තාක්ෂණ මධ්‍යස්ථානය’ ඊයේ (23) නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී (NERDC) මෙම විවෘත කිරීම සිදු කෙරුණා.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 161.5ක පමණ මුදලක් වැය කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 118ක් රජයේ ජාතික තත්ත්ව යටිතල පහසුකම් ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙන් කර තිබෙනවා. ඉතිරි රුපියල් මිලියන 43.5ක මුදල NERDC ආයතනය විසින් දායක කර ඇති බව සඳහන්.

සාම්ප්‍රදායික බැටරි පරීක්ෂණවලින් ඔබ්බට ගොස් නවීන බැටරි තාක්ෂණයන් පරීක්ෂා කිරීමේ හැකියාව මෙම මධ්‍යස්ථානය සතුයි. ඒ හරහා විද්‍යුත් ප්‍රවාහන සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රවල සංවර්ධනයට සහාය ලබාදීම අරමුණ වී තිබෙනවා.

දේශීය නිෂ්පාදකයන්ට, ආනයනකරුවන්ට, පර්යේෂකයන්ට සහ තාක්ෂණ සංවර්ධකයන්ට විශේෂිත පරීක්ෂණ සේවා සැපයීම ද මෙම මධ්‍යස්ථානයේ තවත් අරමුණක්. එමගින් දේශීය නිෂ්පාදන සංවර්ධනය සහ මෙරට අගය එකතු කිරීමේ ක්‍රියාවලිය ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

නවීන පරීක්ෂණ පහසුකම්වලින් සමන්විත මෙහිදී විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ බැටරිවල ක්‍රියාකාරීත්වය, ධාරිතාව, කල්පැවැත්ම සහ ආරක්ෂාව පරීක්ෂා කළ හැකියි. විද්‍යුත් වාහන ආරෝපණ උපකරණ සහ විවිධ බැටරි පද්ධති පරීක්ෂා කිරීමේ පහසුකම් ද ඊට ඇතුළත්.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රොෂානි දිසානායක, NERDC සභාපති ආචාර්ය චිත්‍රාල් අම්බවත්ත, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් කරුණාරත්න ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් සහ දේශීය හා විදේශීය කර්මාන්ත නියෝජිතයන් එක්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk