2026-11-20 09:16:00 Hours

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය 9% දක්වා ඉහළ දමයි


...

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 25කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, මෙතෙක් සියයට 8.75ක්ව පැවති ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 9ක් දක්වා ඉහළ නංවා ඇති බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඊයේ (19) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මැදපෙරදිග පවතින ගැටුම් අපේක්ෂා කළ කාලයට වඩා දිගු වීමත් සමඟ ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම මෙරට උද්ධමන පීඩනය වැඩි කිරීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා.

ඒ අනුව, 2026 ඔක්තෝබර් මාසයේදී මෙරට වාර්ෂික උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බලශක්ති හා ආහාර මිල ඉහළ යාමේ බලපෑමෙන් මූලික උද්ධමනය ද ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

මෑතකදී ගෝලීය බලශක්ති මිල ගණන් යම් මට්ටමකින් පහළ ගොස් තිබුණ ද, මීට පෙර සිදුවූ මිල ඉහළ යාම්වල දෙවන වටයේ බලපෑම් හේතුවෙන් ඉදිරියේදීත් මිල පීඩනයක් ඇතිවිය හැකි බව මහ බැංකුව පෙන්වා දෙනවා.

නවතම පුරෝකථනවලට අනුව, උද්ධමනය ඉදිරි කාලයේදී අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක සහ දිගු කාලයක් පැවතිය හැකි අතර, 2027 වසරේ දෙවන භාගයේදී සියයට 5ක ඉලක්කගත මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමේ පියවරවල බලපෑමෙන් වෙළෙඳපොළ පොලී අනුපාතවල ද සැලකිය යුතු වෙනස්කම් සිදුව ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk