2026-11-22 09:11:00 Hours
2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රජයේ වෘත්තීය සමිති මේ වනවිටත් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, හෙට දිනයේදී දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
මේ අතර, ගුරු හා විදුහල්පතිවරුන් ද හෙට සිට අයවැයට එරෙහිව විරෝධතාවල නිරත වීමට තීරණය කර ඇති බව සඳහන්.
ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා සඳහන් කළේ සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව හෙට දිනයේදී ජාතික කළු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ආණ්ඩුවේ ප්‍රතිචාරය අනුව ඉදිරි සතියේදී මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බව ද ඔහු සඳහන් කළා.
ගුරු හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම්වලට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, නොවැම්බර් 30 වැනිදා වනවිට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බවයි අමිල සඳරුවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
''අයවැයට එරෙහිව මේ වෙනකොට ගුරු, විදුහල්පතිවරු වගේම රාජ්‍ය සේවකයෝ තමන්ගේ ප්‍රතිචාරය දක්වන්න පටන් අරන් තියෙනවා. ගුරුවරු සහ විදුහල්පතිවරුත් ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිචාරය මත ඊළඟ සතිය බොහෝ විට වර්ජනයකට යෑමට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි මේ සියල්ල දිනා ගැනීම සඳහා ගුරුවරු, විදුහල්පතිවරු සමස්ත අධ්‍යාපන පද්ධතිය සමස්ත රාජ්‍ය සේවය සමඟ ජාතික විරෝධතාවය 23 වැනිදා අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගුරුවරු, විදුහල්පතිවරු කළු ඇඳන් සේවයට වාර්තා කිරීම, ජාතික කළු විරෝධතාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා, ප්‍රකාශයට පත් කරේ 23 වැනිදා ජාතික විරෝධතාවය. හැබැයි ආණ්ඩුව ඒකට දක්වන ප්‍රතිචාරය මත ඒක ඊළඟ සතිය වෙනකොට වර්ජනයක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. ආණ්ඩුව උත්තර දෙන්න සූදානම් නැත්නම් අකමැත්තෙන් වුවත් ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට පාසල් පද්ධතිය 30 වැනිදා වහන්න සිද්ධ වෙනවා.''
එමෙන්ම, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ දිවයින පුරා සෞඛ්‍ය සේවකයන් ද මෙම විරෝධතාවට එක්වන බවයි.
ඒ අනුව, හෙට දිනයේදී රට පුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක නිරත වීමට ද සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ ඇති බව උන්වහන්සේ සඳහන් කළා.
''හරිම නිශ්චිතව අපි කියන්න කැමතියි, නොවැම්බර් මාසයේ 23 වැනිදා රාජ්‍ය සේවකයන් ඇතුළු මේ රටේ වැඩ කරන පන්තිය මේ කැඳවලා තියෙන විරෝධතා උද්ඝෝෂණයට, ජාතික විරෝධතා දිනයට මේ රටේ සියලුම රෝහල්වල රෝහල් සහායක කාර්ය මණ්ඩලය මේ ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙන්න මේ වෙනකොට අනුමැතිය පළ කරලා තියෙන්නේ. ඒ නිසා අපි 23 වැනිදා රටපුරා රෝහල් ඉදිරිපිට, ආයතන ඉදිරිපිට අපි අපේ විරෝධතාවය මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි නොවැම්බර් මාසයේ 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් කරන්න මේ වෙනකොට අපේ එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාමාර්ගයේදී මේ වෙනකොට රෝහල් සහාය කාර්ය මණ්ඩලයට අදාළ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින්, ආණ්ඩුවේ හැර සියලු දෙනා මේ වෙනකොට එකඟතාවය පළ කරමින් ඉන්නේ 30 වැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙන්''
මේ අතර, හෙට දිනයේදී රාජ්‍ය සේවකයන් ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතාවට කම්කරු අරගල මධ්‍යස්ථානය ද සහාය පළ කරන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළා.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්වලට එල්ල වන බලපෑම්වලට එරෙහිව ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කර ඇති බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව, හෙට දිනයේදී රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, නොවැම්බර් 30 වැනිදා ඇතැම් ක්ෂේත්රවල එක්දින වැඩ වර්ජන සහ තවත් ක්ෂේත්රවල දින දෙකක වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, ඊට වඩා පුළුල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වැඩ කරන ජනතාව පෙළගැස්වීමට සූදානම් බව ද දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළා.
''ඉදිරි සති දෙක තුළ වැඩ කරන පන්තියේ ඉතාම ප්‍රබල ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කරලා තියෙනවා මේ ජනතාවට කරමින් ඉන්න අසාධාරණයේ සහ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා. අපි බලාපොරොත්තු වෙනවා 23 වෙනිදා රාජ්‍ය ආයතන ඉස්සරහපිට, ආයතන ගණනාවක් ඉස්සරහපිට විරෝධතාවයක් කැඳවන්න. ඒ වගේම නොවැම්බර් මාසේ 30 වෙනිදා නැවත එක්දින වැඩ වර්ජන සමහර ක්ෂේත්‍ර වල ඒ වගේම සමහර ක්ෂේත්‍ර වල දින දෙකේ වැඩ වර්ජන කැඳවලා තියෙනවා. ඒ නිසා ඒ වැඩ වර්ජන වලට පැහැදිලිවම කම්කරු අරගල මධ්‍යස්ථානය මැදිහත් වෙනවා. කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් වෙනවා ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඊට එහා ගිය ක්‍රියාමාර්ග වලට කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව කැඳවන්න''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk