2026-11-19 15:45:00 Hours

මුම්බායි වෙතින් ගිලිහුණු මහේල දිල්ලියට?


...

ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකික පුහුණුකරුවෙකු වන මහේල ජයවර්ධන සම්බන්ධයෙන් මේ දිනවල අලුත් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ වසර ගණනාවක් කටයුතු කළ මහේල ජයවර්ධන එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ මීළඟ නැවතුම කුමක්ද යන්න පිළිබඳව ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

මේ අතර මහේල ඊයේ (18) රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට ලැබෙන තොරතුරුත් සමඟ ඔහුගේ ඉදිරි ගමන පිළිබඳ කතාබහ තවත් උණුසුම් වී තිබෙනවා.

ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළැඹෙන වසරේ IPL තරඟාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රධාන තනතුරක් ගැනීමේ මුලික සාකච්ඡා සිදු කිරීමට මහේල ඩුබායි බලා ගොස් ඇති බවයි.

ඊට අමතරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ Global Cricket තනතුරක් මහේලට හිමිවනු ඇති බවටත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

මීට පෙරද මහේල ජයවර්ධන 2022 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ Global Head of Performance තනතුරට පත්වූ අතර, එමඟින් MI ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රිකට් මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම භාරගනු ලැබුවා.

අනතුරුව 2024 වසරේදී නැවත මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූණා.

මහේල යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන අතර, ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 25,000කට අධික සංඛ්‍යාවක් රැස්කරමින් සිය නාමය සනිටුහන් කළ ක්‍රීඩකයෙකි.

2014 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීමට නායකත්වය ලබාදුන් ඔහු, ක්‍රීඩක දිවියෙන් සමුගැනීමෙන් පසුව පුහුණුකරු භූමිකාවට පිවිසුණා.

IPL පිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් IPL ශූරතා තුනක් දිනාගැනීමට දායක වූ මහේල, එම කණ්ඩායමේ සාර්ථකම පුහුණුකරුවකු බවට පත්විමට සමත් වුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk