2026-11-18 12:03:00 Hours

GTA VI වීඩියෝ ක්‍රීඩාව එළිදැක්වීම හෙට


...

ලොව පුරා වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගත් Grand Theft Auto VI (GTA VI) වීඩියෝ ක්‍රීඩාව හෙට (19) එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Rockstar සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම ක්‍රීඩාව, මීට පෙර නිකුත් වූ ප්‍රධාන සංස්කරණය වන GTA V වෙළඳපොළට පැමිණ වසර 13කට පසුව එළිදැක්වීම විශේෂත්වයක්.

Jason සහ Lucia නම් අපරාධ හවුල්කරුවන් දෙදෙනෙකු වටා ගෙතී ඇති කතාවක් මෙහි ඇතුළත් වන බව සඳහන්.

මේ අතර, Sensor Tower දත්තවලට අනුව GTA VI ක්‍රීඩාවේ පිටපත් මිලියන 15ක් පමණ මේ වනවිට පෙර ඇණවුම් කර ඇති බව ද වාර්තා වනවා.

1997 වසරේදී සරල වීඩියෝ ක්‍රීඩාවක් ලෙස ආරම්භ වූ GTA ක්‍රීඩා මාලාව, ක්‍රීඩකයින්ට මනඃකල්පිත නගරවල සැරිසැරීමට, වාහන සොරකම් කිරීමට, පොලිසියෙන් පලා යාමට සහ විවිධ අපරාධවල නිරත වීමට අවස්ථාව ලබාදුන්නා.

2001 වසරේදී නිකුත් වූ Grand Theft Auto III ක්‍රීඩාව විවෘත ලෝක ක්‍රීඩා (Open-world games) ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් ඇති කළා.

එමඟින් විශාල ත්‍රිමාණ නගරයක් ගවේෂණය කිරීමට, විවිධ මෙහෙයුම්වල නිරත වීමට සහ ක්‍රීඩාව තුළ පරිසරය සමඟ අන්තර්ක්‍රියා කිරීමට ක්‍රීඩකයින්ට වැඩි නිදහසක් හිමිවුණා.

පසුව නිකුත් වූ සංස්කරණ හරහා වඩාත් විශාල ක්‍රීඩා පරිසරයන්, සිනමාත්මක කතාන්දර සහ සමාජ උපහාසයන් ඇතුළත් කරමින් එම අත්දැකීම තවදුරටත් පුළුල් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ නොවැම්බර් 19 වැනිදා එක් එක් රටවල දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ සිට PlayStation 5 සහ Xbox Series X|S ක්‍රීඩා පද්ධති ඔස්සේ GTA VI ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk