2026-11-24 07:17:00 Hours

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම ගැන උරණ විය යුතු නැහැ - අලි සබ්‍රි


...

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් උරණ වීමට කිසිදු හේතුවක් නොමැති බව හිටපු අමාත්‍ය, නීතිඥ අලි සබ්‍රි පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට මොහොමඩ් ෆසාල් නමැත්තෙකු සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි.

"රත්නදීප ජන්ම භූමි" යනුවෙන් සිය සටහන ආරම්භ කර ඇති අලි සබ්‍රි පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ උපන් මුස්ලිම් ජනතාවට ද අනෙකුත් ශ්‍රී ලාංකිකයන් මෙන්ම මේ රට තම මව්බිම ලෙස අභිමානයෙන් හැඳින්වීමට සම්පූර්ණ අයිතියක් ඇති බවයි.

ශ්‍රී ලාංකික මුස්ලිම්වරයෙකු ලෙස මෙරට බෞද්ධ උරුමයට හදවතින්ම ගරු කරන බවත්, වසර දෙදහසකට අධික කාලයක් බුදුදහමෙන් පෝෂණය වූ මෙරට සංස්කෘතික උරුමයේ කොටස්කරුවෙකු වීම තමන්ට ද අභිමානයක් බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ආන්දෝලනයට තුඩු දුන් ප්‍රකාශය සිදුකළ පුද්ගලයාගේ අදහස් තමන් තරයේ හෙළා දකින බවයි හිටපු අමාත්‍යවරයා පවසන්නේ.

සෑම පුද්ගලයෙකුටම තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් තිබුණද, අන්‍ය ආගමිකයන් පූජනීය ලෙස සලකන දේවලට ගෞරව කිරීමේ වගකීමක් ද පවතින බව ඔහු පෙන්වා දෙනවා. අදාළ පුද්ගලයාට තමන් වෙනුවෙන් හෝ මෙරට සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට කිසිදු වරමක් නොමැති බවත්, එම ප්‍රකාශයෙන් සිත් රිදුණු ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු බවත් අලි සබ්‍රි අවධාරණය කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 වැනි ව්‍යවස්ථා සම්බන්ධයෙන් ද ඔහු සිය සටහනේ පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව, 9 වැනි ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ සහ පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරෙන බවත්, 10 වැනි ව්‍යවස්ථාවෙන් ආගමික සහ හෘදය සාක්ෂියේ නිදහස තහවුරු කරන බවත් ඔහු පෙන්වා දෙනවා. එසේම 12 වැනි ව්‍යවස්ථාව මගින් නීතිය ඉදිරියේ සියලු දෙනාගේ සමානාත්මතාව සහතික කරන බව ද සඳහන් කර තිබෙනවා.

එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් හේතුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවම විවේචනයට හෝ ප්‍රහාරයට ලක් නොකරන ලෙස ද අලි සබ්‍රි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වසර ගණනාවක් පුරා බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර ගොඩනැගී ඇති අසල්වැසි සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය එක් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් නිසා පළුදු වීමට ඉඩ නොදිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජාතික හා ආගමික බෙදීම් හේතුවෙන් ශ්‍රී ලංකාව දැනටමත් විශාල වන්දියක් ගෙවා ඇති බවත්, අනාගත පරපුරට එකමුතුව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සියලු දෙනාගේ වගකීමක් බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk