2026-11-23 08:59:00 Hours

අයවැයට එරෙහිව අද රාජ්‍ය සේවයේ ජාතික විරෝධතා දිනයක්


...

2027 අයවැයට විරෝධය පළ කරමින් අද (23) දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, තාක්ෂණ නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරු හා විදුහල්පති ක්ෂේත්‍රවල නිලධාරීන් මෙන්ම වෛද්‍යවරුන් ද මෙම විරෝධතා ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතයි.

සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදිය යුතු බවට වන ඉල්ලීම මුල්කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බව සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළා.

මේ අතර, රජයට විරෝධය පළ කරමින් අද දිනයේ කළු ඇඳුමින් සැරසී පාසල් වෙත පැමිණීමට කටයුතු කරන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා ප්‍රකාශ කළා.

වත්මන් රජය කම්කරු පන්තිය නොසලකා හැරීම මෙම ගැටලුවලට හේතුව බවයි සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේනි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

අද ක්‍රියාත්මක වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නංගර මහතා සඳහන් කළේ, අයවැය මගින් වෛද්‍යවරුන්ගේ හෝ සෞඛ්‍ය සේවයේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.

එමෙන්ම, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති ගැටලුවලට ආණ්ඩුව අවධානය යොමු නොකළහොත් වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සැලසුම් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළා.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමයේ සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ද අවධාරණය කළේ, රජය විසින් නිර්මාණය කර ඇති ගැටලු විසඳීමට වහාම පියවර ගත යුතු බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk