2026-11-18 09:48:00 Hours
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.
1945 නොවැම්බර් 18 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ දශක ගණනාවක් පුරා කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ දේශපාලනඥයෙක්.
ඔහු 2005 වසරේ සිට 2015 වසර දක්වා මෙරට පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ඔහුගේ පාලන සමයේ 2009 වසරේදී දශක තුනකට ආසන්න කාලයක් පැවති මෙරට යුද්ධය අවසන් වීම ඔහුගේ දේශපාලන ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකෙනවා.
වෘත්තියෙන් නීතිඥවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1970 වසරේදීයි.
අනතුරුව 2004 අප්‍රේල් 6 වැනිදා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ ඔහු, 2005 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු එම වසරේ නොවැම්බර් 19 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.
2010 ජනවාරි 27 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් දෙවැනි වරටත් ජයග්‍රහණය කළ ඔහු, 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පරාජයට පත්වීමත් සමඟ 2015 ජනවාරි 9 වැනිදා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණා.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට ගත් උත්සාහය 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ සාර්ථක වූයේ නැහැ. කෙසේ වෙතත්, පසුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට ඔහු සමත් වුණා.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබෙනවා.
ආදරණීය තාත්තේ,
මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.
ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.
තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.
අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.
අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද මගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.
දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.
සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!
හදපිරි ආදරයෙන්,
ඔබේ ආදරණීය ලොකු පුතා,
නාමල්
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk