2026-11-19 09:41:00 Hours

තාර හිඟය මඟහරවා ගැනීමට විකල්ප රටවලින් ආනයනය කිරීමට පියවර


...

රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මැදපෙරදිග පවතින යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මතුව ඇති අවහිරතා හේතුවෙන් ඉරානයෙන් මෙරටට තාර ආනයනය කිරීම පසුගිය මාර්තු මාසයේ සිට අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා විකල්ප රටවලින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කළා.

“ඉරාන සහ හෝමූස් සම්බාධක නිසා තාර ආනයනය මාර්තු සිට අඩාල වී තියෙනවා. මේ ප්‍රශ්නය අපි විසඳෙයි කියලා අපි රටක් ආයතනයක් විදියට බලන් හිටියා. නමුත් මේක දික්ගැස්සෙන ප්‍රශ්නයක් සහ ප්‍රාදේශීය සභා මාර්ගයක සිට අධිවේගී මාර්ගයක් දක්වා සියලු සංවර්ධන කටයුතු අඩාල වෙලා තියෙනවා මෙම තාර ප්‍රශ්නය නිසා. ඒ නිසා ආයතනයක් ලෙස මෙම ප්‍රශ්නයට මුහුණදෙන්න මේ වෙනවිට යම් ක්‍රියාමාර්ග අරන් තියෙනවා. අපේ දේශගුණයට සුදුසු තාර වෙන වෙන රටවලින් සාම්පල ගෙන්නලා ගැලපෙන ඒවා ආනයනය කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. මාස 8ක් පමණ අඩාල වෙලා තිබුණ සංවර්ධන කටයුතු ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන්න අපිට පුළුවන් වෙයි කියලා හිතනවා.”

මේ අතර, දිට්වා ව්‍යසනයෙන් හානියට පත් ඒ සහ බී ශ්‍රේණියේ මාර්ග 490ක් පමණ තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එම මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය මූලික පියවර මේ වන විටත් ගෙන ඇති බවයි අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළේ.

දිට්වා ආපදාවෙන් හානියට පත් මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට එක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා සඳහන් කළේ, දිට්වා ව්‍යසනයෙන් හානියට පත් සියලුම දුම්රිය මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු ලබන වසර තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk