2026-11-23 21:48:00 Hours

ලිංගික අතවර සහ පහරදීමේ චෝදනා මත යූබට් ඒන්ජල් අත්අඩංගුවට


...

පහරදීමේ සහ අස්වාභාවික ලිංගික ක්‍රියා සම්බන්ධ චෝදනා මත සිම්බාබ්වේ දිවැසිවරයෙකු වන යූබට් ඒන්ජල් අද (23) අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය තහවුරු කර තිබෙනවා.

බැතිමතුන් ඉරිදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී පොලිස් නිලධාරීන් 10 දෙනෙකු පමණ එම ස්ථානයට පැමිණ ඔහුට මාංචු දමා දේවස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, පැමිණිලි ඉදිරිපත් කළ පුද්ගලයන් කවුරුන්ද, පැමිණිලිකරුවන් සංඛ්‍යාව කොපමණද සහ අදාළ සිදුවීම් සිදුවූ කාලය පිළිබඳව පොලීසිය මෙතෙක් තොරතුරු අනාවරණ කර නැහැ. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ද ප්‍රකාශයට පත් කර නොමැති අතර, යූබට් ඒන්ජල් ද මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නැහැ.

සිම්බාබ්වේ නීතිය යටතේ 'අස්වාභාවික ලිංගික ක්‍රියා' යන්න පිරිමින් දෙදෙනෙකු අතර කැමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවන් ලෙස අර්ථ දැක්වෙනවා. කැමැත්තකින් තොරව සිදුකරන ලිංගික ක්‍රියා 'අශෝභන ලෙස පහරදීම' ඇතුළු වෙනත් වැරදි යටතේ නඩු පැවරීමට අදාළ වන බව සඳහන්. එහෙත් මෙම චෝදනා දෙක ඔහුට අදාළ වන්නේ කෙසේදැයි පොලීසිය පැහැදිලි කර නැහැ.

මීට පෙර පසුගිය මාර්තු මාසයේදී බුලවායෝ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්, 2025 මාර්තු මාසයේදී හිපොඩ්‍රෝම් දේවස්ථානයේ පිහිටි ඒන්ජල්ගේ කාර්යාලය තුළදී ඔහු තමන්ට ලිංගික අතවර කළ බවට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත්, වත්මන් අත්අඩංගුවට ගැනීම එම පැමිණිල්ලට අදාළද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

උපතින් යූබට් මුඩ්සනිරේ (Uebert Mudzanire) ලෙස නම් ලැබූ ඔහු, 2021 මාර්තු මාසයේදී සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා විසින් යුරෝපය සහ අමෙරිකාව සඳහා විශේෂ ජනාධිපති නියෝජිතයා සහ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා.

එමෙන්ම 2023 වසරේදී අල් ජසීරා නාලිකාව විකාශය කළ 'Gold Mafia' ගවේෂණාත්මක වැඩසටහන හරහා ද ඔහු දැඩි විවේචනයට ලක්වුණා. රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ ජාලයක කොටසක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් සිම්බාබ්වේ වෙත රැගෙන ඒමට තම රාජ්‍යතාන්ත්‍රික බලය භාවිත කිරීමට ඔහු ඉදිරිපත් වන ආකාරය එම වැඩසටහනේ රහසිගත කැමරා දර්ශන මගින් හෙළි කර තිබුණා.

කෙසේ වෙතත්, මෙම චෝදනා කිසිවක් අධිකරණය හමුවේ මෙතෙක් ඔප්පු වී නොමැති අතර, අත්අඩංගුවට ගැනීමක් වරදකරුවෙකු බවට පත්වීමක් නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk