2026-11-13 11:01 Hours

රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙකේ මාස හයක පාඩුව රුපියල් මිලියන 203ක්


...

මෙරට ප්‍රධාන රාජ්‍ය රූපවාහිනී නාලිකා දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය 2026 වසරේ පළමු මාස හය තුළ රුපියල් මිලියන 203ක ඒකාබද්ධ පාඩුවක් වාර්තා කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිකුත් කළ 2026 මැදි වසර රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාවට අනුව, ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පාඩුව රුපියල් මිලියන 37ක්.

රූපවාහිනී සංස්ථාව මෙම වසරේ මුල් මාස හය තුළ වාර්තා කළ පාඩුව, 2025 වසර පුරා වාර්තා කළ රුපියල් මිලියන 191ක පාඩුවෙන් සියයට 87කට ආසන්න අගයක් ගන්නවා.

එම සංස්ථාව 2024 වසරේදී ද රුපියල් මිලියන 247ක පාඩුවක් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, 2024 වසරේදී රුපියල් මිලියන 3ක ලාභයක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 62ක ලාභයක් වාර්තා කළ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ද මේ වසරේ පළමු මාස හය තුළ පාඩු ලබන තත්ත්වයට පත්ව තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ද 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ රුපියල් මිලියන 68ක බදු පෙර පාඩුවක් වාර්තා කර ඇති බව එම වාර්තාවේ සඳහන්.

ගුවන්විදුලි සංස්ථාව 2024 වසරේදී රුපියල් මිලියන 176ක සහ 2025 වසරේදී රුපියල් මිලියන 203ක පාඩු වාර්තා කර තිබුණා.

ඒ අනුව, මෙම රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන 2026 වසරේ පළමු මාස හය තුළ වාර්තා කර ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 271ක්.

මෙම තත්ත්වය වාර්තා වන්නේ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 2026 වසරේ පළමු භාගය තුළ රුපියල් බිලියන 259.3ක ඒකාබද්ධ ලාභයක් වාර්තා කර ඇති පසුබිමකයි. එය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් බිලියන 227.8ක ඒකාබද්ධ ලාභයට වඩා ඉහළ අගයක්.

එම කාලය තුළ රාජ්‍ය බැංකු කිහිපයක් සහ ප්‍රධාන වාණිජ ව්‍යවසායන් සැලකිය යුතු ලාභයක් වාර්තා කර තිබුණ ද, රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන තවදුරටත් පාඩු ලබන තත්ත්වයක පසුවන බවයි වාර්තාවෙන් අනාවරණය වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk