2026-11-13 20:53 Hours
2026 වසරේ පළමු මාස හය තුළ ලබාදී ඇති බදු සහන සහ නිදහස් කිරීම් හේතුවෙන් වක්‍ර බදු වර්ග හතරකින් රුපියල් බිලියන 461.49ක බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන්.
ඒ අනුව එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද සහ රේගු ආනයන බද්ද යන බදු වර්ග හතරෙන් මෙම ආදායම අහිමි වී තිබෙනවා.
එම වාර්තාවට අනුව, එකතු කළ අගය මත බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 242.95ක ආදායමක් අහිමි වී ඇති අතර, සමාජ ආරක්ෂණ දායකත්ව බදු සහන හේතුවෙන් අහිමි වී ඇති ආදායම රුපියල් බිලියන 135.27ක්.
එමෙන්ම රේගු ආනයන බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 74.25ක සහ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 9.02ක ආදායමක් අහිමි වී ඇති බව වාර්තාවේ දැක්වෙනවා.
මේ අතර, සංස්ථාපිත ආදායම් බදු සහ පුද්ගල ආදායම් බදු සහන හේතුවෙන් අහිමි වූ බවට ඇස්තමේන්තු කර ඇති ආදායමද ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, 2023/24 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 119.29ක් වූ සංස්ථාපිත ආදායම් බදු අහිමිවීම 2024/25 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 186.07ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
එමෙන්ම පුද්ගල ආදායම් බදු සහන හේතුවෙන් අහිමි වූ ආදායමද 2023/24 තක්සේරු වර්ෂයේදී රුපියල් බිලියන 10.46ක්ව පැවති අතර, 2024/25 තක්සේරු වර්ෂයේදී එය රුපියල් බිලියන 36.28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවද, 2026 වසරේ පළමු මාස හය තුළ දේශීයව එකලස් කරන ලද වාහන සඳහා ලබාදුන් නිෂ්පාදන බදු නිදහස් කිරීම් හේතුවෙන් රුපියල් මිලියන 9,005ක ආදායමක් අහිමි වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
එය එම කාලසීමාවේ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්දෙන් අහිමි වූ සමස්ත ආදායමෙන් සියයට 99.8ක්.
එමෙන්ම රේගු ආනයන බදු අහිමිවීමෙන් සියයට 89.8ක් රේගු ආඥාපනතේ 19(අ) වගන්තිය යටතේ සාමාන්‍ය කාර්යයන් සහ විශේෂ ව්‍යාපෘති සඳහා ලබාදී ඇති බදු සහන හේතුවෙන් සිදුව ඇති බවද වාර්තාවේ සඳහන්.
ආයෝජන ප්‍රවර්ධනය, අපනයන සංවර්ධනය, ආර්ථික වර්ධනය සහ සමාජ ආරක්ෂණය ඇතුළු විවිධ ප්‍රතිපත්තිමය අරමුණු වෙනුවෙන් මෙම බදු සහන ලබාදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, එවැනි සහන ලබාදීමෙන් රජයට ලැබිය හැකි බදු ආදායම අඩුවීම හෝ කල්දැමීම සිදුවන බැවින්, ඒවායේ රාජ්‍ය මූල්‍ය බලපෑම සහ ප්‍රතිපත්තිමය ප්රතිලාභ අඛණ්ඩව ඇගයීමේ වැදගත්කමද අදාළ වාර්තාව අවධාරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk