2026-11-16 21:42:00 Hours

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි


...

සංවිධානාත්මක අපරාධකරුවෙකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් කොමිසම අද මෝසමක් ගොනු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධියේ දෙවන සැකකරු වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් හතරක් ද මීට පෙර මහාධිකරණය විසින් තහනම් කර ඇති බව කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම, තෙවන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන දෙකක් තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් 8 වැනිදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ අදාළ දේපළ අත්හිටුවීමට පියවර ගත් බව කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂවරිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන සැකකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර, ඔවුන් මේ වන විට ඇප මත සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk