2026-11-16 09:26:00 Hours

ඕස්ට්‍රේලියානු සමාගමක් ලංකාවේ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට සූදානම්


...

ශ්‍රී ලංකාව තුළ විදුලි බස් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බස් රථ නිෂ්පාදන සමාගමක් වන කස්ටම් ඩෙනින් (Custom Denning) ආයෝජනය කිරීමට සූදානම් වනවා.

දේශීය පොදු ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

සමාගම පෙන්වා දෙන්නේ දැනට මෙරට ධාවනය වන ඩීසල් බස් රථ සමඟ සැසඳීමේදී සිය විදුලි බස් රථ මගින් වසර 15ක මෙහෙයුම් කාලයක් තුළ මෙහෙයුම් සහ නඩත්තු පිරිවැයෙන් සියයට 50ක පමණ ඉතිරියක් ලබාගත හැකි බවයි.

මෙම ව්‍යාපෘතිය යටතේ ආනයනික කොටස් එකලස් කිරීමට පමණක් සීමා නොවී, දේශීයව බස් රථ චැසි සහ බඳ නිෂ්පාදනය කිරීම, තාක්ෂණය හුවමාරු කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දේශීය අමතර කොටස් සැපයුම්කරුවන් සංවර්ධනය කිරීම ද අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම යුරෝපීය තාක්ෂණික හවුල්කරුවෙකු සමඟ එක්ව මෙරට බැටරි එකලස් කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීමට ද සමාගම යෝජනා කර තිබෙනවා.

වසර 50කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන කස්ටම් ඩෙනින් සමාගම ඕස්ට්‍රේලියාවේ පැරණිතම බස් රථ නිෂ්පාදකයා ලෙස සැලකෙන අතර, එහි විදුලි බස් රථ මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ ධාවනය වනවා.

මේ අතර, යෝජිත කර්මාන්තශාලාව හරහා මෙරට ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන් සහ අනෙකුත් වෘත්තිකයන්ට සෘජු රැකියා අවස්ථා රැසක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද සමාගම නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එමෙන්ම අමතර කොටස් සැපයුම්කරුවන් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත හරහා වක්‍ර රැකියා අවස්ථා ද උදාවනු ඇතැයි සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk