2026-11-16 21:53:00 Hours

2035 දක්වා ICC ප්‍රධාන පිරිමි තරගාවලි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි


...

2035 වසර දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිව නොමැති බව වාර්තා වනවා.

ඉන්දුනීසියාවේ බාලිහි පැවති ICC විධායක මණ්ඩල රැස්වීමේදී ඉදිරි වසර කිහිපය සඳහා ප්‍රධාන ක්‍රිකට් තරගාවලිවල සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණ ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව, ආසියානු කලාපයේ සත්කාරක අවස්ථා ඉන්දියාවට සහ බංග්ලාදේශයට හිමිව තිබෙනවා.

2031 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි එක්දින ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාවට සහ බංග්ලාදේශයට ලබාදී ඇති අතර, 2029 වසරේ පැවැත්වෙන ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය බංග්ලාදේශයට ලබාදීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ජේ ෂා මහතා දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්ව තිබෙනවා.

ඉන්දුනීසියාවේ බාලිහි පැවති ICC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අතරතුර අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම පත් කිරීම සිදුකර ඇති බව සඳහන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ව්‍යාප්තිය, ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහළ නැංවීම සහ වාණිජමය සංවර්ධනය අරමුණු කරගත් ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජේ ෂා මහතාගේ නායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වැදගත් බව ICC අධ්‍යක්ෂ මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වීමත් සමඟ නව ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාව වෙත ආකර්ෂණය කර ගැනීමටත්, නව ක්‍රීඩක පරපුරක් බිහිකිරීමටත් අවස්ථාව උදාවනු ඇති බව එම කවුන්සිලය සඳහන් කරනවා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය, සහකාර සාමාජික රටවලට වැඩි අවස්ථා ලබාදීම, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම සහ ක්‍රීඩාවේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් තිරසර වාණිජ අවස්ථා නිර්මාණය කිරීම කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කරන බව ICC අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබෙනවා.

නැවත පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ ෂා මහතා පවසා ඇත්තේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ අධ්‍යක්ෂ මණ්ඩලයට ස්තූතිවන්ත වන බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට එහි ඉතිහාසයේ වැදගත්ම සහ උද්යෝගිමත් කාලපරිච්ඡේදයකට පිවිසෙමින් සිටින බවත්, ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ඇතුළත් වීම ලොව පුරා නව ප්‍රේක්ෂකයන් වෙත ක්‍රීඩාව හඳුන්වාදීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වඩාත් ශක්තිමත් සහ තිරසර කිරීම සඳහා සාමාජික රටවල් සමඟ එක්ව කටයුතු කරන බවද ICC සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk