2026-11-16 12:09 Hours

ලාෆ්ස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික අධිකාරියට එයි


...

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද (16) පෙරවරු 10ට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයන් පිරිසක් එම අධිකාරිය වෙත පැමිණ ඇති බව සඳහන්.

පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට සමාගම පියවර ගත්තා.

ඒ අනුව, රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම, රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 2,720ක් බවට පත්වුණා.

මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් මෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෑස් මිලදී ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි.

එම තත්ත්වය හමුවේ ගෑස් මිල සංශෝධනය කිරීමට සිදුවූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් අද (16) උදෑසන හිස් ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් ද රැගෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම පිරිස අධිකාරියේ සභාපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටීමත් සමඟ එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර, ඒ සඳහා අවස්ථාවක් ලැබෙන තෙක් අධිකාරියේ පරිශ්‍රයේ රැඳී සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk