2026-11-12 11:59:00 Hours

මම යටත් වෙන්නේ සංඝ අධිකරණයට විතරයි - කස්සප හිමි


...

රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට හෙට (13) දිනයේ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, පසුගිය ඔක්තෝබර් 17 වැනිදා විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේදී පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බවට උන්වහන්සේ මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඊයේ (11) පෙරවරු 10ට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක 02 වෙත පැමිණෙන ලෙස මීට පෙර උන්වහන්සේට දැනුම් දී තිබුණා.

උඩමලුව පොලිස් ස්ථානය හරහා එම දැනුම්දීම සිදුකර තිබුණද, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශය ලබාදීමට පැමිණ තිබුණේ නැහැ.

ඒ අනුව හෙට (13) දිනයේදී අදාළ විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස යළිත් දැනුම්දීමට උඩමලුව පොලීසිය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සඳහන් කළේ තමන් වහන්සේ කිසිදු අධිකරණ නියෝගයක් පිළිනොපදින බවයි.

එමෙන්ම, තමන් වහන්සේට නියෝග ලබාදිය හැක්කේ සංඝ අධිකරණයට පමණක් බවත්, කිසිදු අධිකරණ නියෝගයක් භාරගත නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk