2026-11-12 08:21:00 Hours
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතාට එරෙහි නඩුවේ ඉදිරි නීතිමය කටයුතු අත්හිටුවා එය නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබියේ රජයේ අභිචෝදක අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය සහ සතුට පළ කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ඔක්තෝබර් 13 වැනිදා තීරණය කර තිබුණා.
ඒ අනුව වැඩිදුර නඩු කටයුතු සඳහා අල් අහ්සා අපරාධ අධිකරණය වෙත යළි යොමු කෙරුණු නඩුව ඔක්තෝබර් 27 වැනිදා විභාගයට ගෙන තිබෙනවා.
එහිදී අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුව නඩුව රජයේ අභිචෝදක අධිකාරිය වෙත යොමු කර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව නඩුවේ ඉදිරි කටයුතු නතර කර එය නිල වශයෙන් අවසන් කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ සමඟම සිවරාසා මහතාට මීට පෙර පනවා තිබූ සියලු දඬුවම් ද සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා.
මේ අතර, සිවරාසා මහතාට එරෙහි නඩුව අවසන් කිරීම සහ ඔහු යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ගෙන ඇති ඉදිරි පියවර පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (11) ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවී තිබෙනවා.
සිවරාසා මහතා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු සම්පූර්ණ කර ගැනීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සෞදි බලධාරීන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදුකරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම ක්‍රියාවලියට සහාය ලබාදුන් සෞදි රජයට, එරට බලධාරීන්ට, ශ්‍රී ලාංකික නීති විශේෂඥයන්ට සහ රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද අමාත්‍යාංශය සිය ස්තුතිය පළ කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk