2026-11-14 10:07:00 Hours
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අධිකරණය හමුවේ නීත්‍යනුකූලව විසඳා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පැතිර යන ඇතැම් ප්‍රකාශ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, ලේකම් ලෙස කටයුතු කරන දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පසුගිය නොවැම්බර් 6 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
එහිදී දෙපාර්ශ්වයම අධිකරණයේ පවතින නඩු කටයුතු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අදාළ ගැටලුව අධිකරණය මඟින් විසඳා ගැනීම සුදුසු බවට තීරණය කර ඇති බවයි කොමිසම සඳහන් කරන්නේ.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවද එම කොමිසම අවධාරණය කරනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් වන අතර, පවතින ගැටලුව එහි ලේකම් ධුරයට පමණක් අදාළ බවයි කොමිසම පැහැදිලි කරන්නේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයෙන් පක්ෂය පෙන්වා දෙන්නේ, මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවේ සිදුකළ බව කියන ඇතැම් ප්‍රකාශ සාවද්‍ය බවයි.
එම ප්‍රකාශ හේතුවෙන් පක්ෂ සාමාජිකයන් සහ ජනතාව නොමඟ යා හැකි බැවින් නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ලේකම් ධුරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ දැනට විභාග වන නඩුවේ තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk