2026-11-21 16:35:00 Hours

අයවැය කාලසීමාවේදී පනත් කෙටුම්පත් තුනක් ගැන විවාද කිරීමට තීරණයක්


...

අයවැය කාලසීමාව තුළ පනත් කෙටුම්පත් තුනකට අදාළ විවාද පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඊයේ (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව, නොවැම්බර් 23 වැනි සඳුදා පස්වරු 6 සිට 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

එදින පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම, දෙසැම්බර් 5 වැනි සෙනසුරාදා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්.

එදින පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

තවද, දෙසැම්බර් 7 වැනි සඳුදා පස්වරු 6 සිට 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

එදින පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

මෙම දිනවලදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනෙන බව ද මහ ලේකම්වරිය සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභා තුනක් පත් කිරීමට අදාළ යෝජනාවලට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, කොවිඩ්-19 වසංගත සමයේ මෙරටදී මියගිය පුද්ගලයන්ගේ මෘත දේහ බැහැර කිරීමේදී නිර්දේශිත ප්‍රමිතීන්, ආරක්ෂිත ක්‍රියාපටිපාටි, සංස්කෘතික වටිනාකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කර ඇති බවට එල්ල වන චෝදනා ඇතුළු කරුණු විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා එක් විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ස්වාධීන තරුණ කොමිෂන් සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තවත් විශේෂ කාරක සභාවක් පත් කිරීමට ද යෝජිතයි.

මීට අමතරව, කාවන්තිස්ස ඇතාගේ මරණය, ඊට අදාළ බලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ වනජීවී ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව විමර්ශනය කර, මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා තෙවැනි විශේෂ කාරක සභාව පත් කිරීමට යෝජනා කර තිබෙනවා.

මෙම කාරක සභා තුන පත් කිරීම සඳහා වන යෝජනාවලට ද අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk