2026-11-04 13:21:00 Hours
අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටෙක්සාස්, දකුණු කැරොලයිනා සහ කැන්සාස් යන ප්රාන්තවලදී ලැබූ පෙරළිකාර ජයග්‍රහණ සමඟ සෙනෙට් සභාවේ මෙතෙක් පැවති රිපබ්ලිකන් පක්ෂයේ බලය අවසන් කිරීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
මේ අතර, මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් එය පිළිගැනීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඩිමොක්රටික් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද තමන් සූදානම් බව ට්‍රම්ප් සඳහන් කර ඇති බවයි.
"අපි ඩිමොක්රටික් පක්ෂය සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් සමඟ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට අපට යම් එකඟතාවකට පැමිණීමට හැකි වේවි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
මේ අතර, අමෙරිකානු ඡන්දදායකයන් අතර සිදුකළ මත විමසුමකදී ආර්ථිකය සහ ප්රජාතන්ත්රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලු ලෙස හඳුනාගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
'Voter Poll' ලෙස හැඳින්වෙන මෙම සමීක්ෂණයට ඡන්දදායකයන් 79,000කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර, ඉන් සියයට 39ක් ආර්ථිකය තමන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව ලෙස නම් කර තිබෙනවා.
තවත් සියයට 32ක් ප්රජාතන්ත්රවාදයේ තත්ත්වය ප්‍රධානතම ගැටලුව ලෙස හඳුනාගෙන ඇති බවයි එම සමීක්ෂණ දත්තවල දැක්වෙන්නේ.
මෙම සමීක්ෂණයේ දත්ත SSRS නම් මත විමසුම් ආයතනය විසින් ප්රවෘත්ති ආයතන එකමුතුවක් වෙනුවෙන් රැස්කර ඇති අතර, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම ඇතුළු ජනගහන ලක්ෂණ අනුව ද ඒවා වර්ගීකරණය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk