2026-10-14 15:44 Hours

අනෝජන්ට ලැබුණු නිදහස ගැන ජනපතිගෙන් X පණිවිඩයක්


...

සෞදි අරාබියේදී ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සිය නිල ‘X’ ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම තීරණය අනෝජන් සිවරාසා මහතාට, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙන්ම ඒ පිළිබඳව උනන්දුවෙන් පසුවූ සියලු ශ්‍රී ලාංකිකයන්ට විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවයි.

මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරු කරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් සියලු පාර්ශ්වයන් දැක්වූ අඛණ්ඩ උත්සාහය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ලබාගැනීමට හැකි වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන් සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පළ කරන ජනාධිපතිවරයා, මේ සඳහා කැපවූ දෙරටේ රාජ්‍යතාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ නීති කණ්ඩායම් වෙත ද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය පිරිනමා ඇති බව සඳහන්.

අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් අවසන් වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය සියලු සහයෝගය අඛණ්ඩව ලබාදීමට රජය සූදානම් බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

වඩා යහපත් ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි හැඟීමක් ඇති නොවිය යුතු බව ද ජනාධිපතිවරයා සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk