2026-10-14 09:27 Hours
සැකකරුවෙකුට අධිකරණය හමුවේ ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඒ බව දැනුම් දිය යුත්තේ අදාළ සැකකරු විසින්ම මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවන බව අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා CID නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ ඝාතනය කිරීමේ නඩුව අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්රාත්වරයා ප්රශ්න කර ඇත්තේ, සැකකරුවෙකුට අධිකරණය හමුවේ පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඒ බව දැනුම් දිය යුත්තේ ඔහු විසින්ම විය යුතු බවට නීතිමය පසුබිමක් පවතින විට, ඒ වෙනුවෙන් CIDය අධිකරණයට කරුණු දැනුම් දෙන්නේ කුමන නීතිමය පදනමක් යටතේද යන්නයි.
අදාළ සැකකරුගේ මානසික වෛද්ය වාර්තාව ලැබීමෙන් පසු ඔහුට ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවසර ලබා දෙන්නේද යන්න තීරණය කරන බවද මහේස්ත්රාත්වරයා ප්රකාශ කර තිබෙනවා.
ඒ අනුව සැකකරු ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කෙරුණා.
මේ අතර, විත්තියේ නීතිඥවරයා අධිකරණයේදී ප්රකාශ කර ඇත්තේ CIDයේ ක්රියාකලාපය හේතුවෙන් මෙම සිද්ධිය නාටකයක් බවට පත්ව ඇති බවයි.
මෙම ඝාතනයට සම්බන්ධ නොමැති අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු නිලධාරීන් පිරිසක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමට CIDය උත්සාහ කරන බවටද ඔහු චෝදනා කර තිබෙනවා.
එස්.එෆ්. ලොක්කා ඝාතනය සම්බන්ධයෙන් සැකකරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුට, උප පොලිස් පරීක්ෂකවරයෙකුට, පොලිස් සැරයන්වරයෙකුට සහ අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකුට විදේශගතවීම වළක්වමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
2020 වසරේ අගෝස්තු 5 වැනිදා අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා එස්.එෆ්. ලොක්කා ඝාතනය කර තිබුණා.
ගිනස් වාර්තාලාභී කරාටේ ශූරයෙකු වූ වසන්ත සොයිසා ඝාතනය ඇතුළු අපරාධ නඩු රැසක ප්රධාන සැකකරුවෙකු ලෙසද එස්.එෆ්. ලොක්කා නම් කර තිබුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk