2026-09-05 11:05:00 Hours
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වෙනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත දැවැන්ත ජනරැලියේ වේදිකාවට එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි විරසිංහ රාජපක්ෂ පැමිණීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසනවා.
ඊයේ (04) දිනයේදී අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගනු ලැබූ නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තත්වයක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
අනුරාධපුර රැලියට පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිත නමුත් ඒ මහතා ජනතාව ඇමතීම සඳහා ප්‍රධාන වේදිකාවට ගොඩනොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග පැවසුවා.
ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ එහිදී ලිමිණි වීරසිංහ රාජපක්ෂ පළමුවරට පක්ෂයේ ප්‍රධාන වේදිකාවට ගොඩවී ජනතාව ඇමතීමට නියමිත බවයි.
පසුගිය සමයේදී ලිමිණිගේ ජන්ම කේන්දර පත්‍රය පරීක්ෂා කළ ප්‍රකට ජ්‍යෝතිශවේදියකු ඇයගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහචාරය අනුව එය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කේන්දර තරම්ම ප්‍රබල යැයි පවසා තිබූ බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ පැතිර ගොස් තිබුණා.
බොහෝ දෙනා මත පළ කරන්නේ නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පවතින නඩු කටයුතුවල තීන්දු 2029 ජනාධිපතිවරණයට පෙර ලැබුණහොත් පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විකල්ප නම් කිහිපයක් සලකා බලන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මෙවැනි සිද්ධිය සිදුවූ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ 1994 වසරේ පැවති තෙවැනි ජනාධිපතිවරණය.
එය මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී මැතිවරණයක් ලෙස හැඳින්විය හැක.
ඒ, එවකට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මහතා මැතිවරණයට සති දෙකකට පමණ පෙර ඝාතනයට ලක්වීමත් සමඟ ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියට ජනාධිපතිවරණ සටනට පිවිසීමට සිදුවීම හේතුවෙනි.
1994 ඔක්තෝබර් 24 වැනිදා කොළඹ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ගාමිණී දිසානායක මහතා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය විසින් ගාමිණී දිසානායක මහතා වෙනුවට ඔහුගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය ජනාධිපතිවරණ අපේක්ෂිකාව ලෙස නම් කළා.
එම තීරණය ගනු ලැබුවේ මැතිවරණයට සති දෙකකටත් අඩු කාලයක් තිබියදීයි.
ඒ අනුව ශ්‍රීමා දිසානායක මහත්මිය සහ එවකට අග්‍රාමාත්‍ය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එරෙහිව ජනාධිපතිවරණයට තරග කළා.
1994 නොවැම්බර් 9 වැනිදා පැවති මැතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඡන්ද 4,709,205ක් ලබා ගනිමින් සියයට 62.28ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයග්‍රහණය කළ අතර, ශ්‍රීමා දිසානායක මහත්මිය ඡන්ද 2,715,283ක් ලබා ගනිමින් සියයට 35.91ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තා.
ඒ අනුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිනිය බවට පත්වූ අතර, ශ්‍රීමා දිසානායක මහත්මිය එම ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂිකාව බවට පත්වුණා.
ගාමිණී දිසානායක මහතාගේ ඝාතනයෙන් අනතුරුව ඉතා කෙටි කාලයක් තුළ ජනාධිපතිවරණ සටනට පිවිසීමට සිදුවීම හේතුවෙන් 1994 ජනාධිපතිවරණය ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේශපාලන ගමන්මගේ ද සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk