2026-10-14 12:12:00 Hours
ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, අදාළ නඩුව කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බැවින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට මහේස්ත්රාත්වරයා දින නියම කළා. එදිනට සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරුණා.
මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති බව ද සඳහන්.
මේ අතර, නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්රසේන මහතා මියගොස් ඇති බවට දැනුම් දී ඇතත්, ඒ සම්බන්ධ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන්ට ලැබී නොමැති බව අධිකරණයේදී අනාවරණ වුණා.
දෙවැනි සැකකාරිය වන ප්රියංකා නියෝමාලි සහ ශාමින්ද්ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්රියාමාර්ග ගනිමින් සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk