2026-10-10 11:05:00 Hours
පැනමාවට බලපෑ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හේතුවෙන් මධ්‍යම සහ දකුණු අමෙරිකානු කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානමක් මතුව තිබෙනවා.
මෙරට වේලාවෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මෙම භූමිකම්පාවත් සමඟ පැනමාවට අමතරව කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවාව, කොස්ටාරිකාව සහ ග්වාතමාලාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, පැනමා නගරයේ සිට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ජනාවාස අඩු ප්‍රදේශයක, කිලෝමීටර් 12.6ක ගැඹුරින් මෙම භූමිකම්පාව හටගෙන තිබෙනවා.
මේ වනවිට පසුකම්පන 80කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, භීතියට පත් ජනතාව ආරක්ෂාව පතා වීදිවලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පැනමා නගරයට නිරිත දෙසින් පිහිටි පෙනොනෝම් නගරයේ හෝටලයක කොටසක් කඩා වැටී ඇති අතර, ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත්, මෙතෙක් කිසිදු ජීවිත හානියක් හෝ බරපතළ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බව සඳහන්.
එමෙන්ම පැනමාවේ පළාත් හයක විදුලි සැපයුම ද බිඳවැටී තිබෙනවා.
භූමිකම්පාවෙන් පසු තාවකාලික ගුවන් ගමන් සීමා කිරීම් ඉවත් කිරීමෙන් අනතුරුව ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත්, පැනමා ඇළ සහ කොබ්‍රේ පැනමා තඹ පතල ඇතුළු ප්‍රධාන ආර්ථික මර්මස්ථානවල කටයුතු ද අඛණ්ඩව සිදුවන බවත් වාර්තාවේ සඳහන්.
මේ අතර, මෙම භූමිකම්පාවෙන් පැනමාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බවට ද පුරෝකථනය කර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk