2026-09-21 10:45:00 Hours
2030 වසරේදී වත්මන් ආණ්ඩුව බලයෙන් පහවූ පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරගත වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
“මේ සතියේ හොඳ උදාහරණයක් තියෙනවා. ඒ තමයි, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මරු කතාවක් කිව්වා. ඒ තමයි, මහින්දානන්ද අලුත්ගමගේ අවුරුදු 20කට හිරේ ගියේ මහජන මුදල් අරගෙන සාක්කුවේ දාගත්ත නිසා නෙමෙයි. ඒ මුදල්වලින් භාණ්ඩ වගයක් බෙදුවා. බෙදද්දී මැතිවරණයක් විවෘත කරලා තිබුණේ. මැතිවරණයක් විවෘත කළ මොහොතක භාණ්ඩ බෙදීමේ වරදට තමයි මහජන මුදල් නාස්ති කිරීම යටතේ අවුරුදු 20කට හිරේ ගියේ.
මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් ප්‍රහාරයකින් අපිට නැතිවුණා. ඒ කියන්නේ මහජන මුදල්. මං කියන්න කැමතියි, ලංකාවේ මුදල් ඇමති අනුර. අනුර ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච විදිහ වැරදියි. ඒ නිසා මේ හැකර් ප්‍රහාරයෙන් ලංකාවේ මිනිස්සුන්ගේ මුදල් ටික අහිමි කිරීම නිසා, ඩොලර් මිලියන 2.5ට අනුර 2032 දී අනිවාර්යයෙන්ම හිරේ යනවාමයි.
ඒ යන්නේ අපි යවනවා නෙමෙයි. මේ පූර්වාදර්ශය ස්ථිරයි. අනුර මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නැති කිරීමේ වරදට හිරේ යනවා. සතුටු වෙන්න ඕනේ නෑ. මිනිස්සු හිරේ යාම සතුටක් නෙවෙයි. මං ඔබට කියන්න උත්සාහ කරන්නේ අතිශය දුර්වල රාජ්‍ය පාලනයක්.
අනුර කියලා කියන්නේ හැමදාම වගකීම්වලින් පැනලා ගිය මිනිහෙක්. 2002 දී අපේ ආණ්ඩුව පෙරළන්න චන්ද්‍රිකා එක්ක එකතු වෙලා පරිවාස ගැහුවේ අනුරලා. අනුරලා පරිවාස ගහලා සුනාමි සාධන මණ්ඩලය හදද්දීම ආණ්ඩුවෙන් පැනලා ගියා. ආයේ මහින්ද රාජපක්ෂව පත්කරද්දී ආයේ එකතු වුණා, යුද්ධය වෙනුවෙන් කියලා. අවුරුදු දෙක යනකොට 2008 දී, යුද්ධය මැදදී ආයේ අනුර පැනලා ගියා.
2015 දී මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ගේන්න අනුරලා උදව් කළා. ඒ ආණ්ඩුව තමයි FCID එක දාලා ඔය හොරුන්ගේ ෆයිල් ටික එකතු කළේ. ඒකෙ ප්‍රධානියා ආනන්ද විජේපාල. ආනන්ද විජේපාල රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ සභාපතිත්වය කළා. CID එකෙන්, FCID එකෙන්, අල්ලස් කොමිසමෙන් මේ හැමතැනකින්ම ගෙනාපු ෆයිල් ටික ආනන්ද විජේපාලටයි, අනුරටයි බාරදුන්නා.
හොරු අල්ලන්න අනුර මොකද කළේ? ඒ ෆයිල් ටික ඉස්සුවා. ඒ ෆයිල් ටික තමයි අර කැබ් එකේ ගෙනැල්ලා පෙන්නුවේ. මේසෙ උඩින් තිබ්බේ හොරුන්ගේ ෆයිල් ටික. හොරුන්ගේ ෆයිල් හොරකම් කරලා නිකන් හිටියේ නෑ. ඒ ෆයිල් ටික අරගෙන හොරු එක්ක ඩීල් දැම්මා.
පළවෙනි වතාවට මේ රටේ මිනිස්සු, පැනලා යන්න බැරුව අනුරට වගකීමක් දීලා තියෙනවා. දැන් අනුරට පැනලා යන්න බෑ. දැන් මේ රට ගෙනියන්න ඕනේ. අවුරුදු දෙකයි, මොකුත් කරගන්න බෑ. කරන එකම දේ තමයි, ව්‍යාපාර කළා, ඒවයින් මුදල් ඉපෙව්වා, රැකියා කළා, ඒවයින් මුදල් ඉපෙව්වා, වගා කළා, ඒවයින් මුදල් ඉපෙව්වා. වෙන කිසිදු ආණ්ඩුවක් නැති විදියට ඒ මිනිස්සුන්ගෙන් බදු නමින් මිනිස්සුන්ගේ සල්ලි ටික අරගන්නවා භාණ්ඩාගාරයට."
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk