2026-10-12 10:44:00 Hours
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ මෙවැනි අසත්‍ය ප්‍රචාර හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞරුෂය බිඳ දැමිය නොහැකි බවයි.
විරුද්ධවාදීන් මෙවැනි අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර පතුරුවා හරිමින්, වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ හිටපු ජනාධිපතිවරයා දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවද ඔහු ප්‍රකාශ කළා.
එබැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස නීතිඥ මනෝජ් ගමගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සිය නිවසේ රැඳී සිටිමින් ශාරීරිකව සහ මානසිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
"හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන් අසත්‍ය බවට මේ අවස්ථාවේදී එතුමාට ආදරය කරන සියලු දෙනාට දැනුම් දෙනවා.
මම හිතන්නේ විරුද්ධවාදීන් මේ වගේ අසත්‍ය, අදූෂමාන, ද්වේශසහගත ආරංචි නිතර දෙවේලේ පතුරුවා හරිමින් උත්සාහ කරනවා, මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාමාර්ග හමුවේ එතුමා වැටිලයි කියලා පෙන්නන්න.
නමුත් අපි විරුද්ධවාදීන්ට කියන්න කැමතියි, එතුමාගේ පවුලේ සියලු දෙනා සිරගත කළත්, මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම ශාරීරිකව සහ මානසිකව ඉතාම ශක්තිමත් නායකයෙක්. මම හිතන්නේ මේ පුහු දේවල් වලින්, මේ බොරු දේවල් වලින් එතුමාගේ වැනි දැවැන්ත පෞරුෂයක් වට්ටන්න හිතනවා නම්, ඒක සතුරන්ගේ සිහිනයක් විදිහට තමයි මම දකින්නේ.
ඉතින් ඒ නිසා මම කරුණාවෙන් දැනුම් දෙනවා, එතුමාට ආදරය කරන සියලුම ජනතාවට, මහින්ද රාජපක්ෂ මැතිතුමා ශාරීරිකවෙන්ම, මානසිකව ඉතාමත් හොඳ සුවයෙන් එතුමාගේ නිවසේ කල්ගත කරනවා කියලා පණිවිඩය මම සියලුම එතුමාට ආදරය කරන ජනතාවටත්, ඒ වගේම එතුමා පිළිබඳව බොරු අසත්‍ය ප්‍රචාරය කරගෙන යන අයටත් දැනුම් දෙනවා."
කෙසේ වෙතත් මෙරට ඇතැම් මාධ්‍ය සහ මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) උදෑසන රෝහල් ගත කර ඇති බවයි.
අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකය (ICU) වෙත ඇතුළත් කර ඇති බව එම වාර්තා සඳහන් කළා.
එම වාර්තා පැවසුවේ කිරුළපන පිහිටි ඒ මහතාගේ නිල නිවසේ රැඳී සිටියදී මෙලෙස හදිසියේ අසනීප වී ඇති බවයි.
මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් හිටපු ජනාධිපතිවරයා වෙත හදිසි සහ දැඩි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ද මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටම මුහුණ දී ඇති බව ද වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk