2026-10-08 20:22:00 Hours

තායිවාන ජනපතිගේ පුත්‍රයා ගැන ඔත්තු බැලූ කාන්තාවක් FBI අත්අඩංගුවට


...

තායිවාන ජනාධිපති විලියම් ලායිගේ පුත්‍රයා පිළිබඳව චීන බලධාරීන්ගේ උපදෙස් මත ඔත්තු බැලූ බවට චෝදනා කරමින් කැලිෆෝනියාවේ පදිංචි කාන්තාවක අත්අඩංගුවට ගත් බව අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් FBI පවසනවා.

34 හැවිරිදි වාන්යින් ෂෑං හෙවත් හෙදර් නමැති මෙම කාන්තාව චීනය බලා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේදී ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඉකුත් ඉරිදා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකානු රජයේ ලියාපදිංචි නොවූ විදේශීය නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.

FBI පවසන්නේ, චීන බලධාරීන්ගේ උපදෙස් මත ඇය තායිවාන ජනාධිපතිවරයාගේ පුත්‍රයා පිළිබඳ තොරතුරු රැස් කර ඇති බවයි.

FBI නිල ප්‍රකාශයේ අදාළ පුද්ගලයාගේ නම සෘජුව සඳහන් කර නොතිබුණද, පසුව පළ වූ වාර්තා මගින් ඔහු අමෙරිකාවේ පදිංචි ලායි ටිං-යු බව හඳුනාගෙන තිබෙනවා.

අමෙරිකානු වාර්තා අනුව, ෂෑං 2025 වසරේදී චීන නිලධාරීන්ගේ උපදෙස් මත සියැටල් නගරයට ගොස් ඇති අතර, තායිවාන ජනාධිපතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ඔවුන් භාවිත කරන වාහනවල අංක තහඩු සම්බන්ධ තොරතුරු චීන බලධාරීන් වෙත යවා ඇති බව සඳහන්.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තායිවාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ, එය චීනයේ දේශසීමා ඉක්මවා සිදුකරන මර්දන ක්‍රියාමාර්ගයක තවත් ප්‍රකාශනයක් බවයි.

තායිවාන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු රජයට ස්තූතිය පළ කරන බවද තායිවාන ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මානව හිමිකම් සහ රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය නොසලකා සිදුකරන මෙවැනි ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවද තායිවාන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශිකා කැරන් කුඕ ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk