2026-09-03 14:01:00 Hours

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ චිත්‍රපටය නිර්මාණය කළ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි


...

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 73 වන වියෙහි පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් මහතාගේ සහෝදරයෙකු වන ගිවන්ත අර්ථසාද් මහතා ශ්‍රී ලාංකේය සිනමා හා රූපවාහිනී ඉතිහාසයේ සජීවීකරණ සහ දෘශ්‍ය ප්‍රයෝග ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැලකෙනවා.

1979 වසරේ තිරගත වූ 'දුටුගැමුණු' චිත්‍රපටය නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සිනමාවට ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය දායාද කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.

සජීවීකරණයට අමතරව චිත්‍ර කලාව, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමා ව්‍යාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක සිය දක්ෂතා දැක්වූ ගිවන්ත අර්ථසාද් මහතා, සිනමා තාක්ෂණය සහ භාෂාව පිළිබඳ වැදගත් කෘතියක් වන 'සිනමා - මායා' ග්‍රන්ථයේ කතුවරයා ද වනවා.

මීට අමතරව, ඔහු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කෙටි කාලයක් සේවය කර තිබෙනවා.

ශ්‍රී ලාංකේය සජීවීකරණ හා සිනමා තාක්ෂණ ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ගිවන්ත අර්ථසාද් මහතාගේ අභාවය එම ක්ෂේත්‍රයට සිදුවූ විශාල පාඩුවක් ලෙස සැලකෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk