2026-09-30 09:45:00 Hours

ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකිරීමට මහ බැංකුව තීන්දු කරයි


...

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය (OPR) දැනට පවතින සියයට 8.75 මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (29) පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි ආර්ථික දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මහ බැංකුව සඳහන් කළේ.

2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම, මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳවද මණ්ඩලය අවධානය යොමු කර තිබෙනවා.

2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.7ක සැබෑ වර්ධනයක් වාර්තා කර ඇති බවද මහ බැංකුව පවසනවා.

මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත සියයට 8 දක්වා ඉහළ ගොස් ඇති අතර, බලශක්ති මිල ඉහළ යාම එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව සඳහන්.

උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් පසු සියයට 5ක ඉලක්කය වෙත ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරනවා.

එමෙන්ම, 2026 අගෝස්තු අවසානය වනවිට මෙරට දළ නිල විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කළා.

මහ බැංකුව විසින් සිදුකළ ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම්ද සංචිත ඉහළ යාමට දායක වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk