2026-10-06 17:29:00 Hours

ඉන්ධන සැපයුම සීමා කළ සමාගම්වලට බලශක්ති අමාත්‍යංශයෙන් ලිපියක්


...

හිඟයකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් වෙත දැනුම්දීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද (06) ලිඛිතව දැනුම්දීමට නියමිත බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අලාභ සිදුවන බව පවසමින් මෙරට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන ඇතැම් සමාගම් සැපයුම සීමා කර ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් මතුව ඇති අතර, ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිම්ද දක්නට ලැබෙනවා.

පවතින තත්ත්වයට පිළියමක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදාහැරීමටද උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම, පෞද්ගලික සමාගම් අවම ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවටද දැනුම්දීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර, පවතින ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් හෙට (07) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා බලශක්ති අමාත්‍යංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වීමට නියමිත බව වාර්තා වනවා.

මේ අතර, ඉන්ධන ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk