2026-10-05 09:01:00 Hours

IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්


...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව, අදාළ සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 345කට ආසන්න මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනවා.

එම මුදල හිමිවීමත් සමඟ IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති සමස්ත මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න වනු ඇති.

කෙසේ වෙතත්, මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව IMF විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත්. එම අනුමැතියට පෙර 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අවශ්‍ය බවද IMF පවසනවා.

IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ සඳහන් කරන්නේ, අඛණ්ඩව ඇති වූ ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි.

2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව ආර්ථික වර්ධනයක් වාර්තා කළ 11 වැනි කාර්තුව බවද IMF සඳහන් කරනවා.

එමෙන්ම, සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක මට්ටමේ පැවති අතර, අගෝස්තු අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව IMF පෙන්වා දෙනවා.

මේ අතර, මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවද IMF අනතුරු අඟවනවා.

මැදපෙරදිග ගැටුම් දිගුකාලීනව පැවතුණහොත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව IMF පවසනවා.

එමෙන්ම බලශක්ති මිලකරණයේ පිරිවැය ආවරණය වන ක්‍රමවේදය පවත්වාගෙන යන අතරම, අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්වූ ජනතාව ඉලක්කගත මුදල් සහන මඟින් ආරක්ෂා කළ යුතු බවද IMF අවධාරණය කර තිබෙනවා.

රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම සහ විනිමය අනුපාතයට වැඩි නම්‍යශීලීභාවයක් ලබාදීම ඇතුළු ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවද IMF පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk