2026-08-19 09:30:00 Hours

2028න් පසු ණය ගෙවීමට ඩොලර් බිලියන 15ක සංචිතයක් ඕනෑ - රනිල් වික්‍රමසිංහ


...

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (18) හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත "යුධ දෙකකට උර දී" ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, 2028 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට නැවතත් විදේශ ණය ගෙවීමට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.

මෙම වසර අවසන් වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් දක්වා පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන බව පැවසූ ඒ මහතා, එම ඉලක්කයට ළඟා වුවද IMF අපේක්ෂිත මට්ටමට පැමිණීමට නම් තවත් ඩොලර් බිලියන 6ක හිඟයක් පවතින බව පෙන්වා දුන්නා.

ඒ අනුව, අනාගතයේදී මුහුණ දීමට සිදුවන ණය ප්‍රතිපූරණය සඳහා එම හිඟ ඩොලර් බිලියන 6 සොයා ගැනීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් වහා සකස් කළ යුතු බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා.

දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද ?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ?

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ.

ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා.

ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා. මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි.. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk